සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය (Division of Biomedical Engineering Service – BES) පුළුල් කොට නවීන පහසුකම් බද්ධ කරමින් සිදුකරන ලද නවීකරණයෙන් පසු එම මධ්‍යස්ථානයේ රාජකාරී කටයුතු ආරම්භකිරීම මෙන්ම පළාත් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකවලට ඉංජිනේරු මෙවලම් බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි Miyon Lee , කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මහලේකම් Baek, Kwan-baek යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් හෙට (16) පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම මගින් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ (BES) අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය ඇතුළුව මෙම නව්‍යකරණ කටයුතු සදහා රුපියල් මිලියන 501 කට අධික මුදලක් වැයකර ඇත.
මධ්‍යම, උතුරු මැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් සභා යටතේ ස්ථාපිතකර ඇති ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකක වෙත ඉංජිනේරු මෙවලම්, වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම්ද මෙහිදී බෙදා දීමට නියමිත අතර ඒ සදහා රුපියල් මිලියන 228 ක් කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම මගින් වැයකර තිබේ.
පුළුල් කොට නවීන පහසුකම් සහිතව සිදුකරන ලද නවීකරණයෙන් පසු මෙම මධ්‍යස්ථානය මගින් මෙරට ජනතාවට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ලබා දීමේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තව තවත් ඉහළ නැන්වීමට හැතියාව ලැබෙනු ඇත. එමෙන්ම ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහ වැඩිදියුණු කළ තාක්ෂණික සහ සැපයුම් පහසුකම් ද මේතුළ සපයා ඇත. නවීන ශ්‍රවණාගාරය තුළින් විෂයට අදාළ නිලධාරීන්, කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් පුහුණු කිරීමට මෙන්ම අධ්‍යයන කටයුතුවලදී නිරූපණ සඳහා වඩා හොඳ දෘශ්‍යකරණයක් ලබා දීමට අවශ්‍ය පහසුකම්ද සලසා ඇත.
කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනම “ශ්‍රී ලංකාවේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවයේ ධාරිතාව ගොඩනැගීම ” ව්‍යාපෘතියට අවශ්‍යවන අරමුදල් සපයනු ලබයි.
ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය සහ ඒකකවල පහසුකම් වැඩිදියුණු කිරීම, වෛද්‍ය උපකරණ ඉන්වෙන්ටරි කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම, වෛද්‍ය පරීක්ෂණ උපකරණ සහ අලුත්වැඩියා මෙවලම් සැපයීම, ජංගම වැඩහල් වාහන සැපයීම සහ ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ ධාරිතා වර්ධනය සඳහා පශ්චාත් උපාධි වැඩසටහන් සහ කෙටි තාක්ෂණික පාඨමාලා මාලාවන් ක්‍රියාත්මක කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකවන ප්‍රධාන සංවර්ධන ක්‍රියාවලියන් ලෙස හැදින්විය හැක.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්,අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන මූල්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්, KOICA, Korea Exim Bank, KOTRA, EPS Center, සහ Saemaul Foundation යන කොරියානු ආයතනයන්හි නියෝජිතයින්, කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි මූලස්ථානයේ අධ්‍යක්ෂ, කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි ශ්‍රී ලංකා කාර්යාලයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

