අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
එම ගින්නෙන් තවත් පුද්ගලයන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය විසින් අද (04) පෙරවරුවේදී සිදුකර තිබේ.
ගින්නට හසුව පිළිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම සිරුරු අතර තිබී ගින්නට හසුව මියගිය පූසෙකුගේ සිරුරක් ද හමු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් 72 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇත.
ගින්න හටගත් අවස්ථාවේදීම පුද්ගලයන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් තිබුණි.
තුවාල ලැබූ තවත් පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ගින්නෙන් බේරුණු වැඩිහිටි නිවාසයේ සිටි 50 දෙනෙකු පමණ ඊයේ රාත්‍රියේ බටගොඩ කනිෂ්ට විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගන්වා තිබුණි.
පසුව ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, එම පිරිස මෙම වැඩිහිටි නිවාසයේම අනු ශාඛාවක් වන ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසය වෙත ආරක්ෂිතව යොමු කිරීමට පියවර ගෙන ඇත.

