මාර්ග වල සවි කර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොලිසිය ලෙස හැගෙන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වටස් ඇප් (WhatsApp) පණිවුඩ හරහා රියදුරන් මුලා කර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාව වෙතඅනතුරු ඇඟවීමක් නිකුත් කර සිටී.
මෙම ව්‍යාජ පණිවුඩ ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද නිල දැනුම්දීම් ලෙස පෙනී යන අයුරින් සකස් කර ඇති අතර, ව්‍යාජ දුරකථන අංක සහ සබැඳි (Links) භාවිත කරමින් ජනතාව වෙත යොමු කරනු ලබන බවට නිරීක්ෂණය වී ඇත.
අදාළ පණිවුඩ මඟින් පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවියක් වෙත යොමු කරමින්, රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් ලබා දේ. මෙම වෙබ් අඩවිය රජයේ නිල ‘GovPay’ ගෙවීම් පද්ධතියට බෙහෙවින් සමාන වන අයුරින් නිර්මාණය කර ඇති බැවින්, සාමාන්‍ය ජනතාව නොමඟ යාමේ දැඩි අවදානමක් පවතී.
මෙවැනි ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිසය ගෙවීම් සිදු කරන අවස්ථාවලදී, ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්පත් තොරතුරු, OTP කේත, ජාතික හැඳුනුම්පත් තොරතුරු සහ අනෙකුත් සංවේදී පෞද්ගලික දත්ත වංචාකරුවන් සතු විය හැකි බව ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරයි.
ඒ අනුව, මහජනතාව පහත කරුණු පිළිබඳ විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතුය.
SMS හෝ WhatsApp මඟින් ලැබෙන සැකකටයුතු සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින්න.
දඩ මුදල් ගෙවීමට පෙර වෙබ් අඩවියේ නිලභාවය තහවුරු කරගන්න.
නොදන්නා හෝ සැකසහිත වෙබ් අඩවි වලට බැංකු හෝ කාඩ්පත් තොරතුරු ලබා නොදෙන්න.
OTP කේත හෝ පුද්ගලික තොරතුරු කිසිදු තෙවන පාර්ශවයකට ලබා නොදෙන්න.
සැකකටයුතු පණිවුඩ හෝ වෙබ් අඩවි පිළිබඳව වහාම ශ්‍රී ලංකා CERT ආයතනය හෝ ශ්‍රී ලංකා පොලිසිය වෙතදැනුම් දෙන්න.
කොලින් හරිශ්චන්ද්‍ර

