ඡන්දය කල් දැමිම නිසා සිදුවන පාඩු සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් පවත්වනු ලැබූ වැඩමුළුවක් පසුගියදා පුත්තලම නගරයේදී පැවැත් වුණි.
මෙම අවස්ථාවට සම්පත්දායකයා ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් එම් . එම්. මොහොමඩ් මහතා සහභාගී විය. එහිදී රට තූළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු රාශියක් පැමිණ සිටි පිරිස සමඟ ඉතා විශිෂ්ට ලෙස බෙදා ගත්තේය.
ඔහුගේ දේශනයේදී වර්තමානයේ ඇතිවී තිබෙන පළාත්සභා ඡන්දය කල් දැමීම හරහා නිර්මාණය වී ඇති අර්බුදය විසඳීමට නම් එය සිදුකළ හැක්කේ පාර්ලිමේන්තුව හරහා පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
එසේ නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් කරන්නේ නම් පැරණි පළාත්සභා ඡන්ද ක්‍රමය මගින් ප්‍රශ්නයකින් තොරව එය පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය විශේෂයෙන්, මහ මැතිවරණය, ජනාධිපතිවරණය, එසේම පළාත්සභා මැතිවරණය ආදියේ ඉතිහාසය ඉතා රසවත් අන්දමින් විග්‍රහ කළ ඒ මහතා ඉතිහාසයේ ලංකාවේ අනුගමනය කළ ඡන්ද ක්‍රමයන් පිළිබඳවත් පැහැදිලි කර දුන්නේය.
ශ්‍රී ලංකාව ආසියාවේ රටවල් අතරින් ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය හිමි රටක් බවට පත්වීම අප ලැබූ විශිෂ්ට ජයග්‍රහනයක් බවත් ඡන්දය යනු මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් බවත් ඔහු පවසුවේය.
එසේම වර්තමානයේ පළාත්සභා ඡන්දයට මෙවැනි අර්බුදයක් මතුවුණේ 2017 වසරේ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට උත්සහ දැරීම හේතුවෙන් බවද ඒ මහතා කියා සිටියේය.
පළාත්සභා ඡන්දය තව තවත් කල් දැමීම තුළින් මහජනතාවට තමන්ගේ
ඡන්දය භාවිත කිරීම හරහා තම අදහස ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංගනය වන බවත් ඔහු පැවසීය. මේ හේතුවෙන් මෙරට සියළුම පළාත්සභා අක්‍රීය වෙමින් පවතින බව ඔහු පැවසීය.
ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට වඩා එය තව තවත් ශක්තිමත් කිරීම මේ වනවිට සිදු විය යුතු දෙයකි. ඊට හේතූව නම් පළාත් සභාවන් නොමැති මොහොතක ඒ පළාත් සභාවන් යටතේ ඇති සියළුම දෙපාර්තමේන්තු සියළුම රාජ්‍ය කටයුතු එසේම පවතින අවස්ථාවකදී පළාත්සභා ඡන්දය පමණක් නොපැවැත්වීම ඉතාම බරපතල ප්‍රශ්නයක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ ආකාරයට මෙම ඡන්දය නොපැවැත්වීම හරහා ඇතිවී තිබෙන තත්වය පිළිබඳව හිටපු මැතිවරණ කොමසාරිස් ජෙනරාල් එම්. එම්. මොහොමඩ් මහතා කියා සිටියේය.
මේ අවස්ථාවදී පැෆරල් සංවිධානයේ ජාතාක සංවිධායක සුජීව ගයනාත් මහතා අදහස් දක්වමින් පළාත්සභා ඡන්දය ගැන පැවසුවේ මේ වන විට පළාත්සභා කාලසීමාව එකහමාරකට වැඩි කාලයක් කල් දමා ඇති බවයි. මේ ආකාරයට එක් එක් පළාත්සභා වල ඡන්දය කල් දැමීම සම්බන්ධ කාල වකවානු පිළිබඳවත් ඔහු සඳහන් කළේය.
මෙරට විපක්ෂය ශක්තිමත් නොවීම හේතුවෙන් මෙවැනි කල් දැමීමකට රජයට අවස්ථාව හිමි වූ බව ඔහු පැවසීය. අනෙක් අතින් මේ ක්‍රමය ඉන්දියාව විසින් මෙරටට ලබා දුන්නකි. ඉන්දියාව කලින් වකවානු වලදී මේ ඡන්දය පිළිබඳව ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් බලපෑම් කරමින් සිටියේය. එම බලපෑම් වැඩි කිරීම තුළින් ශ්‍රී ලංකාව චීනය දෙසට යොමු වීමට ඉඩ ඇති යයි සිතා දැන් ඉන්දියාවද පළාත් සභා ඡන්දය පිළිබඳව බලපෑම් කිරීමට දැන් එතරම් උනන්දුවක් නොදක්වන බව පෙනෙන්නට ඇති බව සුජීව මහතා පැවසීය. එසේම මෑතකාලයේදී ඇතිවූ දිත්වා වැනි ජාතික ආපදාවන් නිසාද මෙවැනි මැතිවරණ කල් දැමීමට තවත් හේතුවක් බව ඒ මහතා පැවසුවේය.
අනෙක් කරුණ නම් මෙය ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් වී ඇති නිසා මෙයට විරුද්දව උසාවියට යාමට හෝ සිවිල් සංවිධාන වලට අවස්ථාවක් නොමැති මොහොතක අප මේ ගැන අවධානය යොමු කර ඇත්තේ යනුවෙන් පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායකවරයා පැවසීය.
මේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව නියෝජනය කරමින්ය ජෙයරාජ් පියතුමා සහ අබ්දුල් මුජීබ් මවුලවිතුමා සහභාගී වූහ. එසේම පැෆරල් සංවිධානයේ සහකාර ජාතික සංවිධායක සත්‍යරාජ් මහතා, පැෆරල් සංවිධානයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඒ.සී.එම්. රුමයිස් මහතා, පැෆරල්, පුත්තලම පාර්ශවකරුවන්, මාධ්‍ය නියෝජිතයින්, වෘත්තිකයින්, ශාස්ත්‍රඥයින්, දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන නායකයින් සහභාගී වූහ.




