ශ්‍රී ලංකාවේ බහුආගමික සහජීවනය සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සම්පාදනය කරන ලද “බෞද්ධ – මුස්ලිම් සංවාදය” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.
තන්වීර් ආයතනය (Tanweer Institute) විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවය අද පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
මෙම ග්‍රන්ථය ආචාර්ය ආසාද් සිරාස් සහ ත්‍රිපිටකාචාර්ය රමේෂ් මධුසංඛ යන විද්වතුන් දෙපළගේ ඒකාබද්ධ පර්යේෂණාත්මක සම්පාදනයකි. මෙරට ප්‍රධාන ආගමික දර්ශන දෙකක් අතර පවතින සමානතා සහ සබඳතා පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් මෙමගින් ඉදිරිපත් කර ඇත.
මෙම උත්සවයේ මුලාසනය හොබවනු ලබන්නේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලැල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ විසිනි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී වේ. විශේෂ ආරාධිත අමුත්තන් ලෙස:
-
මුනීර් මුලාෆර් මහතා – නියෝජ්‍ය අමාත්‍ය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
-
අෂ් ෂෙයික් අර්කම් නුරාමිත් මහතා – මහලේකම්, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU).
ග්‍රන්ථ විවරණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමන්ත ඉලංගකෝන් මහතා විසින් සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයින්, විද්වතුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.


