අල්හාජ් එම් ඒ බාකීර් මාකාර් මහතාගේ 109වන ජන්ම දිනය හෙටයි.

0
16

බේරුවල නගරය සහ බේරුවල සංවර්ධනය ගොඩ නැගීමට මුල්වූ බේරුවල ජනතා පුත්‍ර‍ අල්හාජ් එම් ඒ බාකීර් මාකාර් මහතාගේ 109වන ජන්ම දිනය මැයි මස 12වන දිනට යෙදී ඇත.මේ ලිපිය ඒ වෙනුවෙනි.

බේරුවල පුරවැසියෙකු ලෙස එතුමන් බේරුවල සංවර්ධනය කරන්නට ක්‍රියාත්මක කළ කොතෙකුත් වැඩකටයුතු ගැන මගේ මතකය අවදිවේ. එතුමන් පළමු වරට බේරුවල නගරාධිපති ධූරයට පත්වීමෙන් පසු එදා ඉතා කුඩා කඩවීදියක්ව තිබූ බේරුවල නගරය අද තිබෙන තත්වයට දියුණු කරන්නට මුල් අත්තිවාරම දැමුවේ හා මේ තත්වයට ගෙන ආවේ එතුමන්ය.
එදා එතුමන් නගරාධිපති ධූරයට පත්වන විට බේරුවල නගර සභා කාර්යාලය හැරෙන්නට වෙන රජයේ කිසිම කාර්යාලයක් බේරුවල නොතිබුණි. බේරුවල වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හැටියට නම් කර, බේරුවල නගරයේ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා අලංකාර ගොඩනැගිලි කීපයක්ම ඉදිකර, අලුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බේරුවල ආරම්භ කරන්නට මුල්වුණේ එතුමන්ය.
එදා බේරුවල නගරයේ වෙළද සංකීර්ණයක් නොතිබුණි. රජයේ බැංකු කාර්යාලද එදා බේරුවල නොතිබුණි. ධීවර කාර්යාල ද නොතිබුණි. තමන්ට කියලා උරුම තැපල් කාර්යාලයක්ද නොතිබුණි. රෝහල් සංකීර්ණයේ වෛද්‍ය නිල නිවාස ද නොතිබුණි.
බේරුවල නගර සංවර්ධනය සදහා විශාල ඉඩම් ප්‍ර‍මාණයක් ඒ ප්‍රදේශයෙන් රජයට අත්පත් කරගැනීමට එතුමා මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ කාලයේ පටන්ම කටයුතු ආරම්භ කෙරුණි. ඒ අනුව එතුමා අත්පත් කරගත් ඒ ඉඩම්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බේරුවල නව තැපල් කාර්යාලය, බේරුවල තරුණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,වෛද්‍ය නිල නිවාස හතර, බේරුවල ධීවර සංකීර්ණ ගොඩනැගිල්ල, රෝහලට අවශ්‍ය වෙනත් ගොඩනැගිලි ඉදිවුණි. ඉදිරියටත් රෝහලට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකළ හැකි අයුරින් ඔහු ඉඩම් අත්පත් කරගෙන තිබුණී.
ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව,ග්‍රාමීය සංවර්ධන බැංකුව ඇතුළු බැංකු බේරුවලට ලැබුණේ එතුමන්ගේ මූලිකත්වයෙනි. බේරුවල නගරය අලංකාර කරන යෝධ වෙළද සංකීර්ණය ඉදිවූයේ ද එදා එතුමන්ගේ මුල්වීමෙනි. එතුමන් සකස් කළ බේරුවල නගර සංවර්ධන සැලැස්මට අනුවය. එමෙන්ම ඔහු අත්පත් කරගත් ඉඩමක සමූපකාර මන්දිරය ගොඩනැගුණේ ද ඔහුගේ මගපෙන්වීමෙනි. දුරකතන හුවමාරු මධ්‍යස්ථානය ඉදිවී ඇත්තේත් ඔහු අත්පත් කරගත් ඉඩමකය.
බේරුවල අධ්‍යාපනය සදහා ආරියවංශ විද්‍යාලයේ ප්‍රථම දෙමහල් ගොඩනගිල්ල ලබාදුන්නේත් එතුමන්ය. අද බේරුවල ඩී.ඇස්. සේනානයක මධ්‍ය මහා විද්‍යාලය වශයෙන් හදුන්වන බේරුවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකර ඇති ගොඩනැගිලිවලින් සීයට පනහක පමණ ප්‍ර‍මාණයක් ඔහුගේ කාලයේදී ඔහු මුල්වී එම විද්‍යාලයට ඉදිකර දුන් ගොඩනැගිලිවේ. එහි පිහිටා තිබෙන අධ්‍යාපන කාර්යාලය,රැස්වීම ශාලාව,සියවස ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි මේ අතර වේ. කොතෙකුත් විරෝධතා මධ්‍යයේ බේරුවල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සදහා ඉඩම් අත්පත් කරගැනීම සිදුකර දුන්නේද ඔහු විසින්ය. බේරුවල පොලිස් ස්ථානය අසල පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ නව ගොඩනැගිලි දෙක, වරාපිටිය පාසැලේ ප්‍ර‍ධාන ගොඩනැගිලි දෙක, ඥාණිස්සර විද්‍යාලයේ රැස්වීම් ශාලාව, අලුත්ගම්වීදිය බාලිකා විද්‍යාලයේ රැස්වීම් ශාලාව, පඹේ පාසැලේ ගොඩනැගිල්ල සහ හෙට්ටිමුල්ල පන්සලේ ධර්ම ශාලාව, මුංහේන සියවස පාසල් ගොඩනැගිල්ල සහ දෙමහල් ගොඩනැගිල්ල, දූවේගොඩ පාසල් ගොඩනැගිල්ල, වලතර පාසල් ගොඩනැගිල්ල, කාලවිල පාසල් ගොඩනැගිල්ල, අල් හම්බ්‍රා විද්‍යාලයේ රැස්වීම් ශාලාව, නලීම් හාජියාර් බාලිකා පාසලේ රැස්වීම් ශාලාව, දියලගොඩ රෝමානු කතෝලික විද්‍යායේ දෙමහල් ගොඩනැගිල්ල ද ඉදිකරදීමද සිදුකළේ ඔහුය.
එමෙන්ම අලුත්ගම මහා විද්‍යාලයේ තුන්මහල් විද්‍යාගාර ගොඩනැගිල්ල, රැස්වීම් ශාලාව, අලුත්ගම සංඝමිත්තා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සහ අලුත්ගම් විද්‍යාලයට අවශ්‍ය ක්‍රීඩා පිටිය සදහා එහි කණිෂ්ඨ අංශය පිහිටි ගොඩනැගිල්ල අසල ඉඩකඩම් රජයට පවරා ගැනීම සිදුකරනු ලැබුවේද ඔහුය.
බේරුවල ආසනයේ පාසැල් බොහොමයක්ම සංවර්ධනය සදහා ඉඩම් අත්පත් කරගැනීම, හල්කදවිල විද්‍යාලය, පාඩගොඩ විද්‍යාලය,මහගොඩ විද්‍යාලය, අලුත්ගම්වීදිය බාලිකා විද්‍යාලය, බේරුවල මධ්‍ය මහා විද්‍යාලය, දියලගොඩ රෝමානු කතෝලික විද්‍යාලය,මග්ගොන ඉන්දිරිලිගොඩ මහා විද්‍යාලය, ඉන් කිහිපයකි.ආසනයේ පාසැල් බොහොමයක් සදහා මෙතුමා විශේෂ උනන්දුවක් ගෙන ක්‍රීඩා පිටි ඉදිකරදුනි.
එදා බේරුවල නගරයේ කඩ වලට වතුර ගෙන එන ලද්දේ කරත්ත වලිනි. කරත්ත වලින් ජලය ගෙනවිත් කඩවලට විකිණීම සිදුවුණී. සමහර ප්‍රදේශවල මිනිස්සුන්ට බීමට වතුර ටික ගැනීමට සැතැපුම් ගණන් පයින් යාමට සිදුවී තිබිණ. ඒ ක්‍ර‍මය සම්පූර්ණයෙන්ම අහෝසි කර, මුළු බේරුවල ආසනයම වැළදගත් මග්ගොන, පයාගල, අලුත්ගම, දර්ගානගරය මේ සියළු ප්‍රදේශ සදහා වන නල ජලය ලබාදීමට කටයුතු සිදුකළේද එතුමන් විසිනි.
බෙන්තොට සංචාරක කලාපයට එක් කරමින් , බේරුවල, අලුත්ගම, මොරගල්ල, කළුවාමෝදර ප්‍රදේශද ඒ සංචාරක කලාපයට එකතු කරන යෝජනාව ඉදිරිපත් කළේද බාකීර් මාකාර් මහතාය. මේ අවස්ථාවේදී සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා වන තාහිර් මහතා ඇතුළු එම මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් නොයෙකුත් නුසුදුසුකම් දක්වමින් ඊට විරුද්ධ වූ අකාරය රහසක් නොවේ.ඒ උදවිය ඉදිරිපත් කළ සියළු තර්ක එකිනෙක බිදහෙලමින්, එතුමන් තනි අරගලයක් කරමින්, අමාත්‍යවරයා ඇතුළු වගකිව යුතු සියළු දෙනාට මේ ප්‍රදේශ ඇතුළත් කිරීමේ යෝග්‍යතාවය ඒත්තු ගන්වා,මෙම ප්‍රදේශ සංචාරක කලාපයක් ලෙස නම්කිරීමේ අරගලය සාර්ථකව ජයගත්තේය. ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්වය නගාසිටුවන පෙරළියක් සදහා, ඒ තුළින් මං විවරවීමක්ද සිදුවුණි. බේරුවල සංචාරක පුරවරයේ නිර්මාතෘ හැටියට බාකීර් මාකාර් මහත්මා ඉටුකළ මේ මෙහෙවර, බේරුවල ජනතාවගේ හදවත්හි සැමදා රැදී තිබේ.
පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන, තම මැතිවරණ කොට්ඨාශය තුළ, වෙළද සංකීර්ණ කිහිපයක්ම ඇතිකිරීම සදහා ඔහු මුල්වී කටයුතු කළ ආකාරය බේරුවල ජනතාව අදත් සිහිපත් කරයී. එමෙන්ම එතුමා අලුත්ගම නගරය සංවර්ධනය කිරීම සදහා යෝධ වෙළද සංකීර්ණයක් ඇතිකරන්නට, මුල් වී කටයුතු කළේ, අධිකරණයේදී ඊට එල්ල වූ අභියෝග වලටද මුහුණ දෙමිනි. අලුත්ගම නගර ශාලා ගොඩනැගිල්ලද ඔහු ඉදිකළ ගොඩනැගිල්ලකි. අලුත්ගම වැල්ලතුඩුව ආදර්ශ ගම්මානය ඔහුගේ කාලයේ ඉදිවූවකි. අලුත්ගම තැපල් කාර්යාල ගොඩනැගිල්ල, බේරුවල නව තැපල් කාර්යාල ගොඩනැගිල්ල, මග්ගොන තැපල් කාර්යාල ගොඩනගිල්ල, දර්ගානගර තැපල් කාර්යාල ගොඩනැගිල්ල,හල්කදවිල තැපල් කාර්යාල ගොඩනැගිල්ල, බේරුවල සහ පයාගල දුරකතන හුවමාරු මධ්‍යස්ථානය ආදී මේ සියල්ල බාකීර් මාකාර් මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ඉදිවුනු ගොඩනැගිලිය.
1950 වසරේදී බේරුවල නගරාධිපතිධූරයට පත්වූ බාකීර් මාකාර් මහතා ලංකාවේ නගර සභාවක් විසින් ඉදිකරන ලද පළමු නිවාස යෝජනා ක්‍ර‍මවලින් එකක්, බේරුවල මස්සල ප්‍රදේශයේදී ඉදිකරන ලදි. ඒ නිවාස යෝජනා ක්‍ර‍මය මෑත කාලයේ ඉදිකල නිවාස යෝජනා ක්‍ර‍ම වලටත් වඩා ගාම්භීර ලෙසින් තවමත් ශක්තිමත්ව පැවැතීම, එතුමන් පිළිබදව මතකයන් අවදි කරන්නකි.
එතුමන්ගේ මගපෙන්වීම යටතේ බේරුවල ආසනයේ හිසට සෙවනත් නැති මිනිස්සුන්ට ඒ සෙවන ලබාදීම සදහා දැවැන්ත නිවාස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලදි. යොවුන්ගම, සිංහගම, මලේගොඩ දහම්පහනගම, කාලවිලකන්ද, බදනගොඩ ගම්මානය, හෙරලත්තුඩුව ගම, වැලිපිටිය සිංහල ගම, වැලිපිටිය මුස්ලිම් ගම, පිංහේන ගම, ආනන්ද ගම, ලූෂන්ටයිටස් ගම්මානය, ශාන්ත විසෙන්ති ගම, අලුත්ගම වැල්ලතුඩුව ගම, රහ්මත්පුර, රුවල්පුර, සාගරපුරය, කුඩා පයාගල ධීවර, ඉන්දිරිලිගොඩ ශේක් හම්සා ආදර්ශ ගම්මානය, මාගල්කන්ද නිවාස හැටේ යෝජනා ක්‍ර‍මය, කුඩා මාගල්කන්ද නිවාස යෝජනා ක්‍ර‍මය, කළුවාමෝදර නිවාස යෝජනා ක්‍ර‍මය ගම්මානය ආදී තවත් බොහෝ ගම්මාන එතුමන්ගේ මග පෙන්වීම යටතේ සිදුවූ සේවාවන්ය.
පදිංචි වීමට ඉඩමක් නිවසක් නැති උදවියට ඉඩම් බෙදාදීමට දැවැන්ත වැඩපිළිවෙලක් එතුමන්ගේ දුරදැක්මෙන් යුතුව සකස් කර, එතුමන්ගේ කාලය තුල බේරුවල ක්‍රියාත්මක කරන ලදි. පයාගල දූවේගොඩ ෆ්‍රෑන්ක්ලන්ඩ් ඉඩම, සුදුගහලන්ද ඉඩම, කාලවිල කන්ද ඉඩම, පිංහේන මොරායස්වත්ත ඉඩම, බේරුවල නගර සභා සීමාවේ මල්නයිදෙවත්ත ඉඩම සහ ඊට යාබද ඉඩම, දර්ගානගරයේ සපුලන්කන්ද හා මීනාච්චි කන්ද ඉඩම් දෙක, උතුරු පයාගල මාබල්සලෑන්ඩ් ඉඩම, මාගල්කන්ද බුබුලන්ද වත්ත ඉඩම ආදි ඉඩම් බෙදාදීම් ඒ අතරවේ.
බේරුවල සහ හල්කදවිල ප්‍රදේශ යාකරමින් ඉදිකළ අතුරුමාර්ගය සහ පාලම, වලතර,අකුරැස්ස,වරාපිටිය,පඹේ ප්‍රදේශයන්හි අතුරුමාර්ග සහ පාලම් ආදිය ඔහුගේ යුගයේ ඉදිකරන ලද ඒවාය.
පාලයන්ගොඩ උප තැපල් කාර්යාලය, එගොඩවත්ත උප තැපල් කාර්යාලය, හිරිගල්ගොඩැල්ල උප තැපල් කාර්යාලය, මරදාන උප තැපල් කාර්යාලය, පාලයන්ගොඩ උප තැපල් කාර්යාලය, කච්චගොඩ උප තැපල් කාර්යාලය, මාළිගාහේන උප තැපල් කාර්යාලය, හිරිගල්ගොඩැල්ල උප තැපල් කාර්යාලය මෙන්ම පොතුවිල ආයුර්වේද බෙහෙත් ශාලාව, හෙට්ටියාකන්ද යුනානි බෙහෙත් ශාලාව, මස්සල බෙහෙත් ශාලාව සහ නව ගොඩනැගිල්ල, පිංහේන ප්‍ර‍ජාශාලාව, පිංහේන ගොවිජන සේවා මධ්‍යස්ථානය ආදියත් ඔහුගේ යුගයේ ඉදිකරන ලද ඒවාය.
බේරුවල ආසනයේ ග්‍රාමීය ප්‍රදේශ 80%ක්ම විදුලි එළියෙන් ආලෝකමත් වූයේ එතුමන්ගේ යුගයේදීය.
බේරුවල ආසනයේ සිංහල දෙමළ මාධ්‍ය පාසල්හි සියළුම විදුහල්පතිවරුන් කලුතර අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලයට කැදවා, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඇතුළු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා සියළු විෂයන් භාර අධ්‍යක්ෂකවරුන් හා නිළධාරීන් සහභාගීකරවාගෙන පාසැල්වල පවතින ගුරු අවශ්‍යතාවන්, අධ්‍යාපනික තත්වය හා වෙනත් අඩුපාඩුකම් සියල්ල පිළිබද විමසමින් එම ගැටළු නිරාකරණය කිරීමට ඔහු ලබාදුන් සහයෝගය එදා සිටි විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන නිළධාරීන් දැනුදු සිහිපත් කරයි.
ඔහු කතානායකධූරයට පත්වූ පසුවද තම මැතිවරණ කොට්ඨාශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබද සොයා බලා මේ සමාලෝචන රැස්වීම් අඛන්ඩව පවත්වාගනිමින්, පාසල්වල සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන්ගේ ප්‍ර‍තිඵල ගැන පවා විමසමින් එම තත්වය අමතමින් ඔහු ඉටුකළ මෙහෙවර බේරුවල ජනතාව දැනුදු සිහිපත් කරයි.
බේරුවල ආසනයේ ජනතාවගේ ජන ජීවිතය නැංවීමට එතුමන් ගත් වැඩපිළිවෙලවල් මෙලෙස ලියා නිමකිරීමට පුලුවන්කමක් නැත. මේ ලෙසින් ජනතාවගේ ජනජීවිතය නගා සිටුවන්නට කැපවී වැඩකළ යුගය, බේරුවල ස්වර්ණමය යුගය ලෙස සදහන් කරන්නට පුලුවණ.
නැතිබැරි මිනිසුන්ගේ ජීවිත ගැන සොයා බැලීම, ඒ උවමනාව, ඒ උනන්දුව, අද ඉන්න දේශපාලන අධිකාරියට ලබාදෙන්නේ ලොකු ආදර්ශයකී.
රොනීද මැල් මහතා පාර්ලිමේන්තුවේදී එතුමන් ගැන වරෙක කළ ප්‍ර‍කාශයක් මගේ මතකයේ ඇත.
“ඔහු තම ප්‍රදේශයේ ධනවතුන්ගේ සහ බලවතුන්ගේ බලයට එරෙහිව නැගී සිටින ආකාරය මම ගොඩාක් අගය කරනවා…” (උපුටා ගැනීම හැන්සාඩ් වාර්තාවෙනි.)
දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතා තමන් නියෝජනය කළ ජනතාව වෙනුවෙන් දුර දැක්මෙන්, කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ඒ කළ මෙහෙය අද දේශපාලනයේ නිරත උදවියටද ලබාදෙන්නේ මහගු ආදර්ශයකි. ඒ තුළින් තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවට ණය නැති අවංක දේශපාලනඥයෙකු ලෙස, බේරුවල අපි එතුමන්ව කෘතඥ පූර්වකව අදද සිහිපත් කරන්නෙමු.

(සාමවිනිසුරු ජිනසේන වේලාරත්න මහතා
කාලවිල, බේරුවල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here