කියුබානු තානාපතිවරිය ගරු කථානායකවරයා හමුවෙයි.

0
1

ශ්‍රී ලංකාවේ කියුබානු ජනරජයේ තානාපති ගරු පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය (Patricia Lázara Pego Guerra) ඊයේ (06) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය. මෙම හමුවේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ කියුබාව අතර වසර 65 කට අධික ශක්තිමත් සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා නැවත තහවුරු කළහ.

ගරු කථානායකවරයා තානාපතිවරියගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කරමින් දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සිහිපත් කළේය. එසේම චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු කීර්තිමත් කියුබානු නායකයින්ගේ භූමිකාව ද කථානායකවරයාගේ ඇගයීමට ලක්විය.

බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාරයන්හීදි, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී, කියුබාව ශ්‍රී ලංකාව සඳහා දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගරු කථානායකවරයා සිය කෘතඥතාව පළ
කළේය.

කියුබාවේ පවතින දියුණු වෛද්‍ය ක්ෂේත්‍රය ගරු කථානායකවරයා ඇගයීමට ලක් කළ අතර තමා වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස සිටි කාලය තුළ සුවිශේෂී කැපවීමකින් හා මානුෂීය ගුණාංගයන්ගෙන් යුතුව ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු වෛද්‍යවරුන් පිළිබඳව ඔහුගේ මතකය ගෞරවයෙන් සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දනය සඳහා සහාය වීම පිළිබඳව කියුබානු රජයට කථානායකවරයා සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන් කියුබානු දියුණු වෛද්‍ය තාක්ෂණික සහය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය සංවර්ධනය
කිරීමේදී අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here