රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දැවැන්ත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි චීන ජාතිකයෙකු අද (20) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 35 හැවිරිදි චීන ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මෙරටට පැමිණ ඇති තුන් වන වතාව මෙය වේ.
ඔහු මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන තායිලන්තයේ බැංකොක් නුවර වෙත රැගෙන විත් එතැන් සිට අද (20) අලුයම 12.55 ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහාය.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 13 ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 08 කට අයත් , දුම්වැටි 229,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,149 ක් සගවා ගෙන තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
(කටුනායක – ටී.කේ.ජී.කපිල)

