විදුලිය හා බලශක්ති අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ‘ගල් අගුරු’ යනු දිවයිනේ ගිනියම්වු මාතෘකාවක් බවට පත්ව ඇත.
බාල ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු මිලදී ගැනීම සහ එය හා බැඳි දූෂණ වංචා මෙන්ම එයින් රටට සිදු වන අලාභය ගැන කථා කරන අය එම ගල් අගුරු දැවීම නිසා සෘජුවම පීඩාවට පත්වන පුත්තලම් ප්‍රජාව ගැන මුණිවත රැකීම කණස්සල්ලට කරුණකි.
ජාතික විදුලි ඉල්ලුමෙන් 40% – 50% ක් පමණ සපුරාලන නොරෙච්චෝලෙයිහි පිහිටි ලක් විජය තාප බලාගාරය 2007 – 2014 කාලය අතර අදියර තුනකින් ස්ථාපිත කරන ලද අතර මෙම බලාගාරයේ ප්‍රධාන ඉන්ධනය ගල් අඟුරු වේ.
තාප බලාගාරය පිහිටා ඇති කල්පිටිය අර්ධද්වීපය කෘෂිකර්මය අතින් දැයට අගනා සේවයක් ඉටු කරමින් සිටින භූමි ප්‍රදේශයකි. මධ්‍යම කඳුකරයේ වගා කරන එළවළු වර්ග කිහිපයක් හැර, වෙනත් බොහෝ බා්ග ජාති මෙහි වගා කෙරේ. මෙයට අමතරව සාගරය සහ මුහුද හමුවන කල්පිටිය පෙදෙස සංචාරක අගයක්ද ඇති මනරම් ප්‍රදේශයකි.
කල්පිටිය අවට මුහුදේ සුන්දර කොරල් පර වර්ග 130 කට වඩා දැකිය හැකි අතර මෙහි තිබෙන ගල්පර සතුන් විශේෂයන්ද 300 ක් ඉක්මවයි. එපමණක් නොව තල්මසුන්, ඩොල්ෆින් සහ ටුවාටාරා (අවුලියා) වැනි මසුන්ද කල්පිටිය මුහුදේ බහුලව සැරිසරති. එසේම වැලි මත්ස්‍ය (මුලට්) විශේෂ 20 කට වඩා මෙම මුහුදු ප්‍රදේශයේ සිටින අතර වනගතව වැඩෙන වෙරළබඩ වෘක්ෂලතාදියෙහි ස්වාභාවික සුන්දරත්වයෙන්ද කල්පිටිය පොහොසත්ය.
නොරච්චෝලේ තාප බලාගාරයෙහි චිමිනි තුනකින් මෙම සුන්දර පරිසරයට විෂ දුමාරය මුදා හරිනු ලැබේ. මෙයට අමතරව දහනයෙන් පසුව අපද්‍රව්‍යය ලෙසින් ඉතිරිවන ගල් අගුරුවල අළුද මෙම නිමාවෙහි ගබඩා කර ඇති අතර මේ සියල්ල නිසා කලකට පෙර දැකුම්කළු ප්‍රදේශයක්ව පැවති කල්පිටිය අද වන විට පාරිසරික කොණයෙන් දැවැන්ත විනාශයකට ගොදුරු වී ඇත.
ලොව පුරා සිදු කරන ලද විවිධ අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ ලොව සිදුවන රසදිය මුල්කරගත් පරිසර දූෂණයෙන් 24% කටම වග කිව යුත්තේ තාප බලාගාර බවයි. ගල් අගුරු නිසා ඇති වන සෞඛ්‍යමය හානිය ඇගයීම පිණිස පුත්තලම ප්‍රදේශයේ වාසය කරන ස්ත්‍රී හිසකෙස් සාම්පල මත සිදු කරන ලද පර්යේෂනලින් ලැබී ඇති ප්‍රතිඵලද අතිශය බිහිසුණුය.
පාරිසරික රසදිය දුෂණය යනු පොළොව මතුපිට වාසය කරනවුන් පමණක් නොව තවමත් මෙලොව එළිය නොදුටු ගර්භාෂයේ සිටින කලලයටද බලපෑම් කළ හැකි භයානක උවදුරකි. රසදිය වාතයට මුසු වීම මගින් මොළයට මොළයට මෙන්ම වකුගඩුවටද දැඩි හානි ඇති විය හැකි අතර හෘද ආශ්‍රිත රෝග, මානසික රෝග සහ පෙනීම නැතිවීම වැනි තවත් බොහෝ රෝගි තත්වයන්ටද මෙය මග පාදනු ඇත.
අදට වසර හැටකට පමණ පෙර 1970 වසර මාර්තු 2 වන දින අගමැති ඩඩ්ලි සේනානායක විසින් විවෘත කරන ලද පුත්තලම සිමෙන්ති කම්හල නිසා පුත්තලම වාසීන් දරුණු පරිසර දූෂණයක ඵලවිපාක නෙලමින් සිටින විටම දැඩි මහජන සහ පරිසර සංරක්‍ෂන සංවිධානවලවල විරෝධතා නොතකා 2011 03.22 වන දින කල්පිටියේ මෙම ගල් අගුරු තාප බලාගාරය විවෘත කරන ලද්දේ ගසෙන් වැටුනු මිනිසාට ගොනා ඇනීම සිහිපත් කරවමිනි. පෙදෙසට මෙවන් ඉරණමක් හිමි වනු ඇති යැයි අනුමාන කරමින්දෝ අදට වසර 75 කට පමණ පෙර පුත්තලම් පෙදෙසේ විසු මානව හිතවාදි ධානපතියෙකු වු එච්.එස්. ඉස්මයිල් මැතිඳුන් විසි 1952 වසරෙහි ක්‍ෂය රෝහලක් මෙහි ඉදි කරන ලද බව මෙහි සඳහන් කිරීම සුදුසු යැයි සිතමි.
2021 වසරෙහි ස්කොට්ලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ශ්‍රී ලංකාවද සහභාගී විය. එවිට පළමු වරට ගල් අඟුරු බලශක්තිය සහ ජෛව ඉන්ධන සහනාධාර අඩු කිරීමේ අවශ්‍යතාවය ප්‍රකාශයට පත් කරන ලදි.
COPE26 හි තීරණ කිහිපයක් ලහත පරිදි වේ,
- 2030 වන විට මීතේන් විමෝචනය 30% කින් අඩු කිරීම
- 2030 වන විට වන විනාශයට තිත තැබීම
- නව ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට අනුමැති ලබා නොදීම
- පවතින ගල් අඟුරු බලාගාර ක්‍රමක්‍රයෙන් සේවයෙන් ඉවත් කිරීම

