පසුගියදා රටට බලපෑ දිත්වා සුළි කුණාටුවෙන් බලපෑමට පත්වූ ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශ සංවර්ධනය සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka ව්යාපෘතිය සඳහා සෞදි අරාබියේ ලෝක මුස්ලිම් තරුණ කවුන්සිලය (WAMY) සිය මුදල් පරිත්යාග ලබාදී තිබේ.
ඔවුන් විසින් රියාල් 100,000 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 26,000) මානුෂීය දායකත්වයක් ලබා දී ඇත.
සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් රියාද් හි WAMY මූලස්ථානයට ගොස් එහි මහලේකම් ආචාර්ය සාලිහ් බින් ඉබ්රාහිම් බාබර් හමුවූ අවස්ථාවේ මෙම පරිත්යාගය සිදු කර ඇත.
රියාද් හි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට ප්රතිචාර වශයෙන්, විපතට පත් ශ්රී ලාංකික ජනතාවට ලබා දුන් මෙම ත්යාගශීලී සහාය සඳහා තානාපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.
අවදානමට ලක්විය හැකි ප්රජාවන් නඟා සිටුවීම, අධ්යාපනය සහ සමාජ යහපැවැත්ම ප්රවර්ධනය කිරීම යන ක්ෂේත්රවල ශ්රී ලංකාව සමඟ දිගුකාලීනව කටයුතු කිරීම සඳහා තානාපතිවරයා WAMY ආයතනයට ප්රශංසා කළේය.
1972 දී ආරම්භ කරන ලද WAMY, වසර 50 කට වැඩි කාලයක් තිස්සේ ගෝලීය වශයෙන් තරුණ බලගැන්වීම, නායකත්ව පුහුණුව සහ ප්රජා සංවර්ධන කටයුතුවල නියැලී සිටී.
මධ්යස්ථභාවය සහ සාමකාමී සහජීවනය අවධාරණය කරන මෙම සංවිධානය, එක්සත් ජාතීන්ගේ රාජ්ය නොවන සංවිධානවල (NGO) සාමාජිකයෙකි.


