නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර, ආරක්‍ෂක නියෝජ්‍යඅමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ යන මහත්වරුන්ගේ සම
සභාපතිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මේ සම්බන්ධයෙන් දැනට පවතින සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම විශේෂ සාකච්ඡාව ක්‍රියාත්මක කෙරිණ.නීතිවිරෝධී, වාර්තා නොවන සහ අවිධිමත් ධීවර කටයුතු මෙන්ම, ශ්‍රී ලංකා
මුහුදු සීමාව තුළ සිදුවන අනෙකුත් නීතිවිරෝධී ක්‍රියා ඵලදායී ලෙස වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර, නීතිය ක්‍රියාත්මක කිරීම සහ අන්තර් ආයතනික සහයෝගීතාවය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී මුලික අවධානය යොමු කෙරිණි.
දේශීය හා විදේශීය ධීවර යාත්‍රා මගින් සිදුකරන නීතිවිරෝධී මසුන් ඇල්ලීම, Bottom trawling දැල් භාවිතය, ගුවන් විදුලි සංඛ්‍යාත අනවසරයෙන් භාවිතා කිරීම සහ ධීවර කටයුතු මුවාවෙන් සිදුකරන විවිධ ජාවාරම් වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු අතර විය.
නීතිවිරෝධී ධීවර කටයුතු සහ කිමිදුම් කටයුතුවල නිරත වීම සඳහා තම යාත්‍රා නිරීක්‍ෂණ පද්ධති (Vessel Monitoring Systems) හිතාමතාම අක්‍රීය කරන දේශීය යාත්‍රාවල ධීවර බලපත්‍ර අත්හිටුවීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති උල්ලංඝනය කිරීම් වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධතිය
ආරක්‍ෂා කරගැනීම සඳහා ශක්තිමත් ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදි.
අප රටේ සාගර සම්පත් ආරක්‍ෂා කරගැනීම සඳහා අවශ්‍ය කෙරෙන ආරක්‍ෂක සහ නිරීක්‍ෂණ යාන්ත්‍රණයන් පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් සිදුකිරීමේ අරමුණින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනවල
ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතියේ ආරක්‍ෂාව තහවුරු කිරීම, අන්තර් ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ මෙරට සාගර හා ජලජ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය දක්වන කැපවීම මෙම සාකච්ඡාවේදී යළිත් තහවුරු කෙරිණි.

