මුම්බායි හි සිරවී සිටි බාලදක්ෂිකාවන් පිරිස රජයේ මැදිහත්වීමෙන් යළි දිවයිනට.

0
6

ඉන්දියාවේ මුම්බායි නුවරදී අනපේක්ෂිත රථවාහන තදබදයකට හසුවීමෙන් සිය ගුවන් යානය මගහැරී අතරමංව සිටි ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ (SLGGA) සාමාජිකාවන් 69 දෙනෙකු, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ මැදිහත්වීම මත ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරිණ.

මුම්බායි හි සිරවී සිටි මෙම පිරිස නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් අග්‍රාමාත්‍යවරියගෙන් කරන ලද ඉල්ලීම අනුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ද මැදිහත්වීම මත ඉන්දියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය, ඉන්දීය රජය සහ ශ්‍රි ලංකා ගුවන් සේවය ඇතුළු ආයතන සම්බන්ධිකරණය සිදු කරමින් ඊයේ දින ඔවුන් සියලු දෙනා යළි මව්බිමට ගෙන්වා ගැනීම සිදු වූ අතර මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාද සහභාගී විය.

එම පිරිස පිළිගැනීමට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ බලදක්ෂිකා සංගමයේ නිලධාරීන් දෙමාපියන් බණ්ඩරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

ඉන්දියාවේ පූනේ හි පිහිටි ‘සංගම් ලෝක මධ්‍යස්ථානයේ’ සංචාරයකින් පසු මෙම පිරිස පසුගිය පෙබරවාරි 3 වන දින UL 142 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව තිබුණි. එහෙත් ඔවුන් ගමන් ගත් මුම්බායි-පූනේ අධිවේගී මාර්ගයේ ප්‍රොපිලීන් වායුව ප්‍රවාහනය කළ ටැංකි රථයක් අනතුරට පත්වීමෙන් ඇති වූ පැය 12ක දැවැන්ත රථවාහන තදබදය හේතුවෙන් මෙම පිරිසට ගුවන් යානය මගහැරී අතර බාලදක්ෂිකාවන් 45ක්, රජයේ පාසල් ගුරුවරුන් 11ක් සහ බාලදක්ෂිකා නායිකාවන් 13ක් මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටි අතර මෙම පිරිස මුම්බායි හි භාරත් බාලදක්ෂ මධ්‍යස්ථානයේ තාවකාලිකව රැඳී සිට ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here