ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමේ සාමාජිකත්වය ලබා ගැනීමට සහයෝගය ලබාදීමට ඕස්ට්‍රේලියානු රජයේ එකඟතාව.

0
3

NEWSNOW | – ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන RCEP හෙවත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය සදහා සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය එකඟතාව පළ කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා ඊයේ (19) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේදී ඒ බව පැවසීය.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව, චීනය, ජපානය ඇතුළු ආසියා – පැසිෆික් රටවල් 15ක් සාමාජිකත්වය දරන RCEP හෙවත් කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් හා ජනගහනයෙන් 30%ක් ආවරණය කරනු ලැබේ. වෙළෙඳ බාධක අඩුකිරීම, ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම හා භාණ්ඩ, සේවා හා ආයෝජන පිළිබඳ නවීකරණය කරන ලද පුළුල් නීති හරහා කලාපීය ඒකාබද්ධතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම හවුල්කාරිත්වය ක්‍රියාත්මක වේ.

දෙරට අතර වඩාත් පුළුල් වෙළෙඳ හා ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ක්‍රියාත්මක වෙළෙඳ හා ආයෝජන රාමු සැකැස්ම හෙවත් TIFA ගිවිසුමෙන් ලැබෙන සහාය පිළිබඳ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අගය කරන ලදී. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළෙඳ හා ආයෝජන ගැටලු විසඳාගැනීමට ප්‍රවේශය සපයන මීළඟ TIFA සැසිවාරය මෙම වසරේ පළමු කාර්තුව තුළ පැවැත්වීමට ද මෙහිදී දෙපාර්ශ්වයම එකඟ විය.

ආහාර සුරක්ෂිතතාවට අදාළවද මෙහිදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) මහතා සහ අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලබාදීමට කැමත්ත පළ කෙරිණ.

නිෂ්පාදන සමූපකාර ස්ථාපිත කරන බවත්, ඔවුන්ගේ භාණ්ඩ හා නිෂ්පාදන මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස්කරන බවත් පැවසූ අතර, එම නිෂ්පාදන සතොස හරහා අළෙවියට පහසුකම් සලසන බවත් පෙන්වා දෙමින් අපනයන වෙළෙඳපොල කරා යාමට ඔවුන්ට අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වන බව දැනුවත් කළෙමි. ඒ තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවක් ඇතිකිරීමට උත්සාහ කරන අතර නිෂ්පාදන මිලදී ගැනීම පිළිබඳ ගොවීන්ට තහවුරුවක් ලබාදීමත් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.

පසුගිය වසරේ රටට බලපෑ දිට්වා සුලි කුණාටුව හමුවේ ඇති වූ ආපදා තත්වය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගත් අතර රට යථාවත් කිරීම සදහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති බැවින් මේ ජාත්‍යන්තරයේ සහාය අවශ්‍යම මොහොතක් බව පෙන්වාදුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here