අෆ්ෆාන් අබ්දුල් හළීම්ගේ ලිපියක් ආශ්‍රිතයෙනි .
හැඳින්වීම – ප්‍රතිපත්තියේ අභාවය සහ යතාර්ථ දේශපාලනයේ උපත
ජනතා විමුක්ති පෙරමුණ මුලික ජාතික ජනබලවේගය බලයට පත්වුයේ සිස්ටම් චේන්ජ් ’ එකක් ගෙනෙන බවට සහතික වෙමිනි. එනමුත් වසරකට පසුවත් එම සිස්ටම් චේන්ජ් එක හෙවත් පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුව තිබෙනවාද? නැත්නම් අර පරණ ක්‍රමයම තවත් ශක්තිමත් වනවාද යන සැකය කා අතරත් පවතියි. ජනතා විමුක්ති පෙරමුණේ යල් පැනගිය මාක්ස්වාදී – ලෙනින්වාදී ප්‍රතිපත්ති සියල්ලම දියාරු දුර්වල වී ඇති බව සත්‍යයකි. එසේම නව ලෝක ප්‍රවණතාවය අනුව යමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ භූ දේශපාලනික තත්වයන්ට අනුකූලව ලිබරල් වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් රට තුල ස්ථාවර වෙමින් පවතී. රට දෙවන අවපාතයකින් බේරී ඇතත්, ඒ සඳහා මිල වශයෙන් බොහෝ ප්‍රතිපත්ති වෙනස්කම් සහ ඒවා අත්හැර දැමීම් ගෙවන්නට සිදුව තිබේ.

කෙසේ වෙතත්, වාමාංශික රජයක් ධනවාදී ප්‍රතිපත්ති ආවාහ කර ගැනීම ප්‍රබල ජවිපෙ සාමාජිකයන්ව කළකිරීමට පත් කර ඔවුන්ව පක්‍ෂයෙන් ඈත් වන්නට ඉවහල් වී ඇත. එසේ වුවද, එය දැනට තමන්ට වඩාත් අවශ්‍ය වන ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තර ප්‍රජාව තෘප්තිමත් කර ඇති හෙයින් පරණ යහළුවන් නොසතුටු වීම ගැන රජය එතරම් කලබල වු වගක් පෙනෙන්නට නැත. එමෙන්ම ජවිපෙ නායකත්වයෙන් යුත් පක්ෂයක් බලයට පත් වුවහොත් කුමක් සිදුවේදැයි ඉහළ පන්තිය අතර තිබු බිය සහ සැකද දැන් ඔවුන් වෙතින් සම්පූර්ණයෙන්ම දුරු වී ඇත.
ධන හා සෘණ, රතු එළි සහ ජනතාව ප්‍රවේශම් විය යුතු ඉසව් –
ආර්ථිකය, IMF කොන්දේසි, බදු සහ මධ්‍යම පන්තිය මත පටවා ඇති බර.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව කටයුතු කිරීම යනු අනුර රජයේ විශාලතම ජය එහි විශාලතම දේශපාලන දුර්වලතාවය බවට පත්ව තිබීම හෝ නුදුරු අනාගතයෙහි පත් වන්නට ඉඩ තිබීම දෛවයේ සරදමක් වැනිය.
ධණ (ස්ථාවරත්වය)
IMF සමග කටයුතු කිරීම: 2024 දෙසැම්බර් මස IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව සිදු කළ අතර 2025 ඔක්තෝම්බර් මාසයෙහි එහි පස්වන සමාලෝචනයද සම්පූර්ණ කළේය. මෙමගින් ආර්ථික ස්ථාවරත්වය ඇතිව තිබේ.
ව්‍යවස්ථාදායක ජයග්‍රහණ: රජය වැට් බදු සංශෝධන සහ සූදු නියාමන අධිකාරී පනත වැනි නව නීති 22 ක් 2025 වසරෙහි පමණක් සම්මත කර ඇත. මෙය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ ක්‍රියාකාරකමකි.
අදානි ව්‍යාපෘතිය ප්‍රතිව්‍යුහගත කිරීම: අදානි සුළං ව්‍යාපෘතියේ ඉහළ පිරිවැය ප්‍රතික්ෂේප කිරීම මගින් පෙර පැවති රජයට වඩා හොඳින් කේවල් කිරීමේ හැකියාව ජාතික ජන බලවේග රජයට ඇති බව ඔප්පු කර ඇත.

උද්ධමනය – අනුර රජය සාර්ථක ලෙසින් උද්ධමනය පාලනය කර ඇති අතර රුපියලේ අගයද අවප්‍රමාණය වී නොමැත.
වැටුප් වැඩි කිරීම: ජාතික අවම වැටුප් (සංශෝධිත) පනත, සේවක අයවැය සහන දීමනා (සංශෝධිත) පනත ආදිය සම්මත කිරීමෙන් අවම වැටුප සහ පුද්ගලික අංශයේ දීමනා වැඩි කර ඇත.
සෘණ (සැකසුරුවම සහ බදු බර)
බදු සහන බලාපොරොත්තු සුන්වීම: මධ්‍යම පන්තියට පොරොන්දු වූ බදු සහනය මිරිඟුවක් වී ඇත. තනි පුද්ගල ආදායම් බද්ද (PAYE) නිදහස් කිරීමේ සීමාව රු. 150,000 ට සීමා කිරීම නිසා ඉහළ යන ජීවන වියදම හමුවේ ජනගහනයෙන් විශාල කොටසකට බදු ගෙවීමට සිදු වී තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහනද හිස් මැතිවරණ පොරොන්දුවක් බවට පත්ව ඇත.
ඉතිරි කිරීමට වැදුනු මරු පහර: ඉතිරි කිරීමි පොලිය 5 % සිට 10 දක්වා වැඩි කර තිබීම විශ්‍රාමි වැටුප් ලාභීන්ට වැදුනු සෘජු පහරකි.
වැට් බර: වැට් බදු නිදහස් කිරීමේ සීමාව (පිරිවැටුම් සීමාව) අඩු කිරීමත් සමඟ, රුපියල් 100,000 ක දෛනික අලෙවියක් (ලාභ නොවේ) ඇති කුඩා ව්‍යාපාරවලට පවා වැට් බදු ගෙවීමට සිදුව ඇත. මෙය ක්‍රියාත්මක වන දින සිට භාණ්ඩ මිල ඉහළ යාමේ සහ ජීවන වියදම එයටත් වඩා ඉහළ යාමේ අවදානමක් මතුව තිබේ. මෙයට අමතරව, ඩිජිටල් සේවා සඳහාද 18% ක වැට් බද්දක් පනවා ඇත.
රතු එළිය: වාහන ආනයන තහනම ඉවත් කිරීම හොඳ දෙයක් ලෙස සැලකිය හැකි අතර පාරවල් දැන් අලුත් වාහනවලින් පිරී තිබේ. එස් වුවද වාහන සඳහා 300% ක ආනයන බද්දක් පැනවීම නිසා අත්‍යවශ්‍ය සාමාන්‍ය වාහනයක් පවා කෙනෙකුට මිලදී ගැනීම අසීරු තත්වයක් නිර්මාණය වී ඇත. අනෙක් අතට, අමාත්‍යාංශ ලේකම්වරුන් වෙනුවෙන් සුඛෝපභෝගී ඩබල් කැබ් වාහන 1,775 ක් ගෙන්වීමට අයවැයෙන් රුපියල් බිලියන 40 කට වඩා වැඩි මුදලක් වෙන් කර තිබීම රජයේ කැපී පෙනෙන විෂමතාවයකි. බලයට පැමිණෙන්නට පෙර මෙවන් වියදම්වලට එරෙහිව ජෙප්පන් ගිරිය පුප්පා කෑ ගැසු සැටි මිනිසුන්ට අමතක වී ගොස් නැත.

2. යහපාලනය: ශුද්ධය Vs බලය වැඩි කර ගැනීම
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රජයේ ප්‍රධාන ජයක් ලෙස ඉදිරිපත් කළද, එය ව්‍යුහාත්මක හා පද්ධතිමය ප්‍රතිසංස්කරණවල බිහිසුණු ප්‍රමාදයක් සඟවයි.
ධණ (ක්‍රමවේද)
202 නීති විරෝධි කටයුතු මගින් උපයන ආදායම පිළිබඳ අංක 5 පනත සම්මත කිරීම මඟින් අයතා ලෙස ඉපැයු වත්කම් රාජසන්තක කිරීමට රජයට නීතිමය බලය ලැබී ඇත.
ජාතික විගණන (සංශෝධිත) පනත සම්මත කිරීම මගින් මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කර ඇත.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ මෙහෙයුම් හරහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ දූෂිත නිලධාරීන් 115 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
VHS වීසා වංචාව අවලංගු කළ වේගය අතිශය ප්‍රශංසනීයයි.
සෘණ (ප්‍රමාදය)
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව අත්හැර දමා ඇත. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ ආරම්භයේ සිටම -එනම් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ- එය අහෝසි නොකිරීම සඳහා වන කාරනය ලෙස දක්වන්නේ එය අහෝසි කළහොත් ආර්ථික ස්ථාවරත්ව බිඳ වැටෙන බවයි. නමුත් මෙහි ඇති හාස්‍යය නම් විධායක ජනාධිපති ක්‍රමය තිබු මෙම වසර හතලිහක පමණ කාලය තුල රට අත් කරගත් ආර්ථික ස්ථාවරත්වයක් පෙනෙන්නට නොතිබීමයි. ඒ වෙනුවට, එය දරිද්‍රතාවයේ ගිලී බංකලොත් වන්නට ඔන්න මෙන්න යන තත්වයක් පවා උදා විය. මෙවන් තත්වයක මෙම කරුණ සඳහා අනුර රජයත්හි හිගන්නාගේ අර පරණ තුවාලයම’ පෙන්වනු ඇත යැයි මිනිසුන් බලාපොරොත්තු වුයේ නැත.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ ප්‍රමාදය:
ජනාධිපතිවරයාගේ කථා විලාසයෙන් සහ ක්‍රියාවලින් වක්‍රව පෙනෙන්නේ දෙවන ධූර කාලයක් ජනාධිපතිව සිටින්නට ඔහු අර අඳින බව හා විධායක ක්‍රමය එලෙසින්ම් තබා ගනු ඇති බවයි. ජනාධිපති පුටුවට පත් සියලුම දෙනාට මෙම ලෙඩේ බෝවීම රටේ කරුමයකි. ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යනු අනුරලාට රට බාර දීමට ජනයා තීරණය කිරීමට හේතු වු ප්‍රධාන පොරොන්දුවක් බව ඔවුන් අමතක නොකළ යුතුය.
මතභේදාත්මක අන්තර්ජාල ආරක්ෂණ පනත ඉවත් කරන බව වත්මන රජය කීවද එය තවමත් සිදු වී නැත. ඇහුවොත් කියන්නේ සංශෝධන කමිටුව එය සලකා බලමින් සිටින බවයි.
රතු එළිය: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කරන බවට ජාතික ජනබලවේග රජය පොරොන්දු වුවද, එය ත්‍රස්ත විරෝධී පනත : (Counter Terrorism Bill) බවට පත් වුවා පමණි. මෙය ලුණු තිබෙන බෝතලයකට ‘සීනි’ යන ලේබලයක් ඇලවීම වැනි විගඩමකි. පෙර රජයන්වල පාලන කාලයෙහි සේම ත්‍රස්තවාදය’යන්නට අපැහැදිලි, අව්‍යක්ත, නොමග යවන සුළු අර්ථ දැක්වීම්වලට අනුර රජයත් පෙළඹී සිටියි. මෙම විග්‍රහ අනුව වෘත්තීය සමිති විරෝධතා, ශිෂ්‍ය පෙළපාලි වැනි නීති්‍යානුකූල උද්ඝෝෂණ පවා ත්‍රස්තවාදී ක්‍රියා යැයි අර්ත දැක්විය හැකිය.

3. සමාජ සමගිය සහ සුළු ජාතීන්: ප්‍රමුඛතා : (Meritocracy) උගුල
මෙය වනාහී මෙම රජයේ දුර්වලම ඉසව්වයි. අවංකවම කිවහොත්,ිඑක රටක්, එක නීතියක්’ යන පාඨය දැන් භයානක ලෙසින් එක රටක්, එක පරිපාලනයක්’ බවට පත්ව තිබේදෝද යන සැකය මෙය ඇති කර තිබේ.
ධණ: වැලි කැණිම, මත්පැන් බලපත්‍ර අවලංගු කිරීම සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් මත වන ග්‍රහණය දැඩි කිරීම මගින්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ජාතිවාදය අවුස්සන දේශීය මැර කල්ලිවල මූල්‍ය බලය සැලකිය යුතු ලෙස අඩපන කර ඇත. මෙලෙසින් ජාතිවාදි ක්‍රියාකාරකම්වලට තිබු සෘජු දේශපාලන සහයෝගය අතුරුදහන් වී තිබේ.
සෘණ: සුළු ජාතීන් සැනසුම් සුසුමක් හෙළන බවට මෙය කිසිදු සහතිකයක් ලැබී නැත.තවමත් මහ ජාතිය සහ සුළු ජාතීන්ට නීතිය බෙදනු ලබන්නේ වෙන වෙන හැඳිවලිනි. අල්ප හේතූන් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළු ජාතීන්ට එරරෙහිව මුදා හරින නමුත්, වඩාත් භයානක ජාතිවාදී ක්‍රියාවලට අධිකරණයෙන් වරදකරුවන් වී සිපිරි ගෙයට ගිය මහ ජාතියේ දරුණු ජාතිවාදීන් පසුව -දඬුවමට අතරමග සමාව දෙනු ලැබ- විජග්‍රාහී ලෙසින් මහ උළු ගෙයින් එළියට එනු දැකිය හැකිය.
සෘණ (කුඩම්මා සැලකිල්ල):
කැබිනට් මණ්ඩලයේ සුළුතර නියෝජනය අවම මට්ටමක පවතී. විශේෂයෙන්, එකදු මුස්ලිම් අමාත්‍යවරයෙකු නොමැති වීම නිසා විධායක බලයක් ඇති සභාවක එක් සුළුතර ජනකොටසක හඬට සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. එමෙන්ම අධිකරණ හා පරිපාලන අංශවල ඉහළම පත්වීම් සියල්ල මහජාතියට ලබා දී ඇති අතර මුස්ලිම් තබා රටේ දෙවැනි බහුතරය වන දමිළ ජනකොටසේ නියෝජනයද මෙම අංශයෙහි පවතින්නේ ඉතා අවම මට්ටමකය.
රතු සංඥාව: පළාත් සභා මැතිවරණ දින නියමයක් නොමැතිව කල් දැමීම සහ ආණ්ඩුකාරවරුන් හරහා පළාත් පරිපාලනය කිරීම කොළඹ බලය නැවත එක් තැන කේන්ද්‍රීය කිරීමේ පියවරකි. මෙය යටත් විජිත පන්නයේ පාලනයකට නැවත අවතීර්ණ වීමක් බවට දෙමළ ජනතාව අතර බියක් ඇති කර තිබේ. 13 වන සංශෝධනය එහි සිව්වන සාර්ථක දශකය කරා ගමන් කරන්නේ හුදෙක් කඩදාසි කැබැල්ලක් ලෙසය.
4. සෞඛ්‍ය සහ අධ්‍යාපනය: ප්‍රතිපත්ති පාවාදීම සහ යථාර්ථවාදය
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහිව සටන් කිරීමට වීදි බැස්ස ජනතා විමුක්ති පෙරමුණ බලය අත්ට පත්වු විගස ඒවා නීතිගත කරමින් සිටියි. අධ්‍යාපනය සඳහා අයවැයේ වෙන් කළ මුදල ප්‍රමාණවත් නොවේ. කෙසේ වෙතත් මෙම විෂයයෙහි යුනෙස්කෝ නිර්දේශයට ආසන්නව නොපැමිණියද, පසුගිය රජයේ අවසාන අයවැයට වඩා රුපියල් බිලියන 150 ක් වැඩියෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර තිබීම පැසසිය යුතු පියවරකි. එනමුත් එදා අධ්‍යාපනයට වෙන් කරනු ලබන මුල්‍ය ප්‍රතිපාදන වැඩි කළ යුතු යැයි වීදි බැස උද්ගෝෂණය කළ කෙනෙකු අගමැතිව සහ අධ්‍යාපන අමාත්‍ය ලෙස පත්ව සිටින රජයක හා එවන් අරගල මෙහෙයවූ තැනැත්තෙකු ජනපතිව සිටින රජයක් මෙයට වඩා අධ්‍යාපන අරමුදල් විෂයයට අවධානය යොමු කරන්නට තිබුනි.
ධණ (ප්‍රායෝගිකවාදය):
සෑම කෙනෙකුටම නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දිය නොහැකි බව වටහාගෙන සිටින අනුර රජය ණෘඹ සහ භීඊඵ වෛද්‍ය පීඨ ප්‍රමිතිගත කිරීමට සහ රජයේ රෝහල්වල ඔවුන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දීමට පියවර ගැනීමද නැණවත් පියවර බව කිව යුතුය. රජයේ විශ්ව විද්‍යාලවල වත්මන් වෛද්‍ය පීඨවලට කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සඳහා ඇති ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලිය නොහැකි බැවින්, ප්‍රතිපත්තිවල සිරවී සිටීම වෙනුවට රජය ප්‍රායෝගික විසඳුමක් කරා ගමන් කිරීම අත්‍යවශ්‍ය වේ. එය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා සැලකිය යුතු සංඛ්‍යාවක් පිටරටවලට යාම නිසා ඇති වන ඩොලර් ගලනයද වළක්වනු ඇත.
සෘණ (බුද්ධි ගලනය):
රටේ වියතුන් -විශේෂයෙන් වෛද්‍යවරුන්- සැලකිය යුතු සංඛ්‍යාවක් වැඩි වැටුප් ලබා ගැනීමේ චේථනාවෙන් විදේශවල යමින් සිටිති. එසේ යන වෘත්තිකයන්ව කළු ලැයිස්තුගත කර, රටින් පිටව යාම වළක්වන්නට වසර හතරක බැඳුම්කරයක් පනවා ඔවුන් ප්‍රාණ ඇපයට තබා ගැනීමේ ක්‍රමය ප්‍රයෝගික නොවේ. විදේශ රටවල අපට වඩා 15 ගුණයකින් වැටුප් පරතරයක් ඇති විට, එය අවම වශයෙන් හෝ නිවැරදි නොකර නීති දැඩි කිරීම දිගු කාලීනව ඍණාත්මක ප්‍රතිවිපාක ඇති කරනු නියතය.
රතු එළිය: ශිෂ්‍ය සංවිධාන නොසලකා හැරීම
පෙර තම සගයන් ලෙස ජවිපෙ සැලකු ශිෂ්‍යයන්ව අදිකරදරකාරයන්’ ලෙස වත්මන් රජය සලකයි. ඔවුන් එසේ අද කරදරකාරයන් බවට පත්ව ඇත්තේ රජයේම ක්‍රියාකලාපය නිසා බව රජය අමතක නොකළ යුතුය. ලෝක දේශපාලන ඉතිහාසස දෙස බලන විට ඒකාධිපතිත්වයට විරුද්ධව යැයි කියමින් බලයට පත් වූ සියලු දෙනාම, බලයට පත් වූ පසු, ඒ සඳහා දර දිය ඇද්දවුන්ට එරෙහිව කටයුතු කරනු දැකිය හැකිය. මෙයට හේතුව බලයට පත් වු පසු කෙසේ හෝ සදාකල් එහිම රැඳී සිටීමේ තණ්හාව ඇති වීමයි. මේ මොහොතේ ජවිපෙ නායකයන්ට එම තණ්හාව තිබේද තැනිද යන්න කීම තරමක් අසීරුය. එනමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කර ඇති සංශෝධන දෙස යොමු වන කල එවන් ආශාවක් මෙම රජයටද තිබෙන බවට සැක පහළ වීම වැළැක්විය නොහැකිය. ශිෂ්‍ය විරෝධතා පවා ත්‍රස්ත ක්‍රියා යැයි අගවන ප්‍රතිපාදන එම පනත් සංශෝධනයට හීන්සැරේ රිංගවීමට වාමාංශික රජයක් පෙළඹුනේ කෙසේද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි.

5. විදේශ ප්‍රතිපත්තිය – සතුරන්ගේ කරේ අත දැමීම
බලයට පත්වන්නට පෙර අනුරලා පුන පුනා දැක්වු අධිරාජ්‍ය විරෝධී’ මානසිකත්වයෙන් එළියට ඇවිත් උපායමාර්ගික සන්ධාන’ මානසිකත්වයට දැන් අවතීර්ණ වෙමින් සිටිනු දැකිය හැකිය.
ධණ (ප්‍රායෝගිකවාදය):
කෙසේ වෙත් මාක්ස් සහ ලෙනින් මතවාදවල මහගෙවල් වන චීනය සහ රුසියාව ඒවායින් බැහැරව සුවසේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති වැළඳ ධනවත් හා බලවත් වෙමින් සිටින යුගයක තමන් ඒවායෙහි එල්ලී සිටීම මෝඩ වැඩක් යැයි අනුර රජය වටහා සිටීම සැනසුම ගෙන දෙයි. අද කාලයේ එම මුලධර්ම ප්‍රායෝගික නොවේ. ඇමරිකානු යුද නැව්වලට ඉඩ දීම සහ ඉන්දියාවේ බලශක්ති ව්‍යාපෘති පිළිගැනීම ආර්ථික පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය බව රජය වටහා ඇත.
සෘණ (රෑ දනියෙල් දවල් මිගෙල්):
ජාත්‍යන්ර මුල්‍ය අරමුදලේ ගිවිසුමට සහ ඉන්දියානු සැලසුම්වලට එරෙහිව ඡන්දය දුන් දැඩි ජවිපෙ ආධාරකරුවන් අද රජය එම සැලසුම් ක්‍රියාත්මක කිරීම දැක කළකිරීමට පත්ව සිටිති.
ඉහත සඳහන් කළ සියල්ල අනුර රජය තුනෙන් දෙකක බහුතරයකින් බලයට පත්ව වසරක් සම්පූර්ණ කර ඇති තත්වයක සිදු කරන ලද සාමාන්‍ය විවේචනාත්මක නිරීක්ෂණයක් මිස මෙය අංගසම්පුර්ණ අධ්‍යයනයක් නොවේ. අවධානය යොමු කළ යුතු ඉසව් බොහෝමයක් තිබෙන බව කිව යුතුය.
නමුත් මේවා සලකා බලන විට, සියලුම ශ්‍රී ලාංකිකයින් පහත සඳහන් අංශ පිළිබඳව වඩාත් දැනුවත් විය යුතුය.

සියලුම ශ්‍රී ලාංකිකයින් විමසිල්ලෙන් සිටිය යුතු අනතුරු සංඥා කිහිපයක් ඇත.
නැවතත් දූෂිත හා අන්තනෝමතික පාලනයක් ඇති නොවන්නට නම් ලාංකික ප්‍රජාව පහත කරුණු හය විෂයයෙහි සංවේදීව සිටිය යුතුය:
1. ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාද කිරීම:
ජනාධිපති ක්‍රමය අහෝසි කරන මෙන් සහ නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන යෝජනා ඉදිරිපත් කරන මෙන් බල නොකළහොත් රජය ඒවාට කිසි විටෙක යොමු වන්නේ නැත.
විධායක ජනාධිපති ධුරයේ බලය භාවිතා කිරීමේ ආශාව අනුර වැනි කෙනෙකුටද ඇති වීම රටට එතරම් හිතරකර නොවනු ඇත. මේ රටට ඵලදායී නායකයෙකු අවශ්‍යය යන සටන් පාඨය නිසා රටට සිදුවුනු යහපතට වඩා නපුර බෙහෙවින්ම වැඩිය. එබැවින්, වඩාත් ඵලදායී සිස්ටම් චේන්– එකක් සඳහා නොකඩවා රජයට ජනතාව පීඩන එල්ල කරමින් සිටිය යුතුය.
2. ත්‍රස්ත විරෝධී පනතේ අන්තර්ගතය:
ඉහත පැහැදිලි කළ පරිදි, පවතින නීතියක් සංශෝධනය කර නව නීතියක් ගෙන ඒමේ ක්‍රියාව බොහෝ විට කොළේ වසා ගැහීමක් බවට ඕනෑ තරම් අතීත නිදසුන් තිබේ. රජයට අවශ්‍ය නොවන ඕනෑම දෙයක් ත්‍රස්තවාදයේ අර්ථ දැක්වීම යටතේ ඇතුලත් කිරීමේ හැකියාව මෙම සංශෝධනයට ඇත. උදාහරණයක් ලෙස,ිඅත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීම’ ත්‍රස්තවාදය ලෙස අර්ථ දක්වා ඇත්නම්, වැටුප් වැඩිවීමක් ඉල්ලා විරෝධතා දක්වන හෙදියන් සහ ගුරුවරුන්ගේ එම විරෝධය පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ත දක්වා ඊයේ වන කම් ලෙඩුන්ට උපස්ථාන කරමින් සිටි හා කිසිදු ත්‍රස්ත ක්‍රියාවක නොයෙදුනු එම අහිංසක හෙදියන් අත්අඩංගුවට ගත හැකිය. කෙටියෙන් කිවහොත් හඳුන්වා දී ඇති සංශෝධන ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කරනු ලබන මහජන විරෝධතා මර්දනය කිරීමට සුවසේ යොදවා ගත හැකිය.
3. නව දේපළ සහ වරිපනම් බද්ධ
මේ දිනවල, නගර සභා මගින් පත් කරන ලද නිලධාරින් නිවාස සහ අනෙකුත් නිශ්චල දේපළ තක්සේරු කිරීම සඳහා සෑම ගෙන් ගෙට යමින් සිටිනු දැකිය හැකියි. 2027 දී ක්‍රියාත්මක වන්නට නියමිත මෙම බද්ද තක්සේරු අගය මත නොව අදාළ දේපළේ වෙළඳපල වටිනාකම මත පදනම් වුවහොත්, එය මධ්‍යම පන්තියට විශාල බරක් වනු නිසැකය.
4. සුළුතර නියෝජනය අඩු වීම:
දූෂිත නොවන සහ සුදුසු පුද්ගලයින් පමණක් පත් කිරීමේ මුවාවෙන් මුස්ලිම්වරුන් සහ දමිළ ජනතාව නොසලකා හැරීම දිගටම සුළුතර ජනගහනය අතර කලකිරීමක් සහ රැඩිකල්කරණයක් ඇති කරන්නට ඉඩ ඇත. ප්‍රමුඛතාවාදය :ඵැරසඑදජර්ජහ* තවත් ආකාරයක වංශාධිපතිත්වයක් බවට පත්වීමේ අවදානමද මෙහි ඇත. ජනතාව මේ ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. සුළු ජාතීන්ට බෙහෝ පහසුකම් ලබා දී තිබියදීත්, ඔවුන් රජයට කෘතඥ නොවී අනවශ්‍ය ගැටළු ඇති කරති යයි කියමින් සුළුජාතීන්ට රජ්‍ය අනුග්‍රහ සහිතවම හිරිහැර ඇති වී බෙදුම්වාදය නැවතත් හිස එසවීමට ඉඩ තිබේ.
5. සෙවනැලි බලය සහ ටිල්වින් සිල්වාගේ භූමිකාව:
ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ඡන්දයට ඉදිරිපත් නොවු හෙයින් සහ ඔහු ජනතාවගේ තේරී පත් වූ නියෝජිතයෙකු නොවන හෙයින් ඔහුට වත්මන් රජය තුළ නීතිමය බලයක් නොමැත. කෙසේ වෙතත්, ඔහු උත්තරීතර උපදේශයෙකු සහ සෙවනැලි නායකයෙකු ලෙස ක්‍රියා කිරීම සහ විවිධ පත්වීම් සහ රජයේ තීරණ සම්බන්ධයෙන් රජය නියෝජනය කරනා රාවයෙන් කතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් හිතකර නොවේ.
මෙය භයානක වන්නේ ඇයිද යත් ජනතාව විසින් තේරී පත් වූ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාව විසින් තේරී පත් නොවූ පක්ෂ ලේකම්වරයෙකුට පිළිතුරු දීමට සිදුවුවහොත්, එය ජනතාවගේ ස්වෛරීභාවය ප්‍රශ්නගත කරනු ඇත. අනාගතයේදී පක්ෂයේ දේශපාලන කමිටුවේ තීරණ කැබිනට් මණ්ඩලයේ තීරණවලට වඩා ඉහළ වන්නේ නම්, එය ඒකාධිපති ප්‍රවණතාවයකට තුඩු දෙනු ඇත.
6. ශක්තිමත් විපක්ෂ ව්‍යුහයක අවශ්‍යතාවය:
විපක්ෂය යන දෙවන ආණ්ඩුවක් යැයි කියනු ලැබේ. ඒ එසේමය. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අතිශය වැදගත්යි. බොහෝ විට පාලක පක්ෂයට ඒකාධිපති අභිප්‍රායන් හෝ ඒකපාර්ශ්වික පාලන ක්‍රමයක් පිළිබඳ සිහින දකින්නට හරහට සිටින්නේ විපක්ෂයයි. විපක්ෂය සම්පූර්ණයෙන්ම දුර්වල වී ඔවුන්ගේ බලපෑම රජයට නැති වුවහොත්, ප්‍රජාතන්ත්‍රවාදයට කොකා පෙන්වමින් පාලක පක්ෂය නොකඩවා බලයේ රැඳී සිටිමට අවශ්‍ය දොර පහසුවෙන් විවෘත වනු ඇත. බලය දූෂණයට පාර කපනු ඇති අතර අසීමිත බලය නියත වශයෙන්ම අසීමිත ලෙස දූෂණයට අධිවේගී පාරක්ම කපනු ඇත.
අවසාන වශයෙන්…
වසරකට පසු, ජාතික ජනබලවේග රජය තමා කාර්යක්ෂම බවත්, දූෂණයෙන් තොර සහ ජාතිවාදයට අනුග්‍රහහ ලබා නොදෙන බවත් තරමක් දුරට ඔප්පු කර ඇත. ඔවුන් නාස්තියද යම් දුරකට පාලනය කර ඇත. එනමුත් ඔවුන් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය සහ සුළුතර අයිතිවාසිකම් සම්බන්ධ ගැටළු ආමන්ත්‍රණය කර නොමැත. එය වසරකින් විසඳුම් ලබා දිය හැකි ප්‍රශ්නයක් නොවන බව ඇත්තකි. මෙ ප්‍රශ්නය අස්ථිය දක්වා දිරාපත් වන තරමට ගැඹුරට විනිවිද ගොස් ඇති තුවාලයක් වැනිය. නමුත් එවැනි නිදන්ගත තුවාලයක් සුව කිරීම විෂයයෙහි අවශ්‍ය වන මූලික හැකියා තමන්ට ඇති බවක් රජය මෙතෙක් ප්‍රදර්ශනය කර නැත.
සැමරීමට සෑම විටම වීරයෙකු හෝ ගැලවුම්කරුවෙකු අවශ්‍ය වන සාමාන්‍ය මානසිකත්වයක් මෙහි දැකිය හැකිය. එබැවින්, එම අපේක්ෂාව ඉටු කිරීම සඳහා, රජය දැන්ිප්‍රයෝජනවත් නිලධාරීවාදක්’ අනුගමනය කරමින් සිටියි. ශ්‍රී ලංකා සහ ලෝක ඉතිහාසය අපට උගන්වන්නේිප්‍රයෝජනය’ තාවකාලික වන අතරිනිලධාරිවාදය’ සදහටම පැවතිය හැකි බවයි.
එබැවින්, අප සහාය දී තේරී පත් වූ රජයේ ජය ගැන කොතෙකුත් ඔල්වර නගමින් සහ විපක්ෂය නන්නත්තාර වී තිබීම ගැන උදම් අනමින් සිටීම නැණවත් නොවේ. රජයට මහජනයාගේ සහයෝගය අවශ්‍යයි යන තත්වය වෙනස් වන්නට පෙර හා තමන් ගෙදර යවන්නට කිසිවෙකුට නොහැකිය යන උඩගු විශ්වාසය රජයට ඇති වන්නට පෙර, ජාති ආගම බේදවලින් තොරව ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු සැබෑ සිස්ටම් චේන්– එකක් බල කිරීම අත් නොහැරිය යුතුය. යම් හෙයකින්, අසීමිත බලයක් හිමි කර ඇති මෙම රජය අන්තනෝමතික වන්නට පටන් ගතහොත් එය මෙයට පෙර රජයන්ගේ ක්‍රියාකලාපයට වඩා බිහිසුණු විය හැකිය. මන්ද පාලන බලය මෙම කණ්ඩායමට හිමිව ඇත්තේ ඔවුන්ගේ ජීවිතයෙහි පළමු වරටය.

ප්‍රජාතන්ත්‍රවාදය පරපෝෂිතයෙකු බවට පත් නොවීමට නම් ජනතාව අවදිව සිටිය යුතුය, නිතර රජයෙන් ප්‍රශ්න ඇසිය යුතුය හා සැමවිටම ප්‍රශංසනාත්මක නොවි විවේචනාත්මකද විය යුතුයි.

