මෙරට ආපදා තත්ත්වයෙන් පසු ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් වෙයි.

0
1

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව (The World Health Organization (WHO)’s Second Global Summit on Traditional Medicine) ඊයේ (17) ඉන්දියාවේ නවදිල්ලියේ Bharat Mandapam හි දී ආරම්භ විය.

එම සමුළුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගීව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus මහතා අතර හමුවක් සමුළුව පැවැත්වෙන පරිශ්‍රයේ දී අද (18) උදෑසන සිදුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවට සමගාමීව පැවැති මෙම හමුවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ කාර්යාලය නියෝජනය කරමින් Dr. Razia Pendse මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටි අතර, පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හමුවේ මෙරට සෞඛ්‍ය සේවා අඛණ්ඩව ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම්, ආධාර සහ උපදෙස් මෙන්ම මඟපෙන්වීම් ලබාදීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus මහතා වෙත අමාත්‍යවරයා මෙහිදී සිය ස්තූතිය පිරිනමන ලදි.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හදිසි ආපදා තත්ත්වයෙන් පසු පශ්චාත් ආපදා කළමණාකරණ කටයුතු පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණූ විමසා සිටි අතර, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ රජය ක්‍රමවත් සහ සැළසුම් සහගත වැඩපිළිවෙලක් තුළ පශ්චාත් ආපදා කළමණාකරණ කටයුතු සිදු කරන බවත්, සෞඛ්‍ය සත්කාර සේවා අංශයෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශ හා ජනතාව ආශ්‍රිතව කිසිදු බෝවන රෝග තත්ත්වයක් පවා ඇතිවීමට හෝ ව්‍යාප්ත නොවන ආකාරයට අවශ්‍ය සියළු කටයුතු සිදු කරමින් ආපදාවට ලක් වූ සියළු ජනතාගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා කටයුතු සිදු කළ බවයි.

රජය සහ සෞඛ්‍ය අංශ ආපදා තත්ත්වය හමුවේ සහ ආපදා තත්ත්වයෙන් පසු ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ  ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus මහතාගේ ඇගයීමට ද ලක් වූ අතර, මෙවැනි ව්‍යසනයක දී බෝවන රෝග අවම තත්ත්වයක පවත්වා ගැනීමේ වැදගත්කමත්, බෝවන රෝග ව්‍යාප්ත වූවා නම් ඇතිවිය හැකි භයානක තත්ත්වය පිළිබඳවත් ඒ මහතා අදහස් දක්වන ලදි.

ඊයේ  (17) දින ආරමිභ වු ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවේ දෙවන දිනය අද වන අතර, මෙම සමුළුව හෙට (19) දක්වා ඉන්දියාවේ නවදිල්ලියේ  (New Delhi)  Bharat Mandapam හිදී පැවැත්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දීය රජයේ ආයුෂ් අමාත්‍යාංශය  (Ministry of Ayush) සමඟ ඒකාබද්ධව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සඳහා සාක්ෂි, ඒකාබද්ධ කිරීම සහ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම සමුළුවට රටවල් 100 කට වැඩි ගණනක රජයේ අමාත්‍යවරුන්, විද්‍යාඥයින්, ස්වදේශික නායකයින් සහ වෘත්තිකයන් එක් වේ.

ශක්තිමත් සාක්ෂි, වඩා හොඳ නියාමනය, පද්ධති ඒකාබද්ධ කිරීම, සහයෝගීතාවය සහ ප්‍රජා සහභාගීත්වය මත කේන්ද්‍රගත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සාම්ප්‍රදායික වෛද්‍ය උපායමාර්ගය 2025–2034 ක්‍රියාත්මක කිරීම සහ ඉදිරියට ගෙන යාම අරමුණු කරගත් ප්‍රධාන විද්‍යාත්මක මුලපිරීම් සහ නව කැපවීම් සමුළුව නිවේදනය කරනු ලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවලින් 90% ක් පමණ (194 න් 170 ක්) වාර්තා කරන්නේ ඔවුන්ගේ ජනගහනයෙන් 40-90% ක්  සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිතා කරන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here