මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විප්ලවයක්.

0
8

NEWSNOW | – ශ්‍රී ලංකාවේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සතු සමස්ත දත්ත පද්ධතිය නවීන තාක්ෂණයට අනුකූලව ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. රජයේ “ඩිජිටල් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තියට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිවයින පුරා විසිරී ඇති සියලුම ඉස්ලාමීය ආගමික සිද්ධස්ථාන සහ මද්‍රාසා අධ්‍යාපන ආයතන පිළිබඳ සියලු තොරතුරු “ඩිජිටල් ලේඛනාගාර” (Digital Archive) පද්ධතියක් ලෙස සංරක්ෂණය කිරීමට නියමිතය. මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(15) ආගමික සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් මහතා, වකුෆ් සභාවේ සභාපති ඇතුළු සෙසු සාමාජිකයින්ගේ සහ මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, ව්‍යාපෘතියේ පළමු අදියරේ මූලික සැකසුම් මේ වන විට සාර්ථකව නිම කර ඇති බව අනාවරණය විය. එළඹෙන 2026 වසරේ මාර්තු මාසයේදී මෙම ඩිජිටල් පද්ධතිය නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. පද්ධතියේ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, පරිශීලකයාට ඉතාමත් සරලව සීමාවන්ට යටත්ව තොරතුරු ගවේෂණය කළ හැකි අයුරින් එය සකසන ලෙසත් තාක්ෂණික ශිල්පීන්ට වැඩිදුරටත් උපදෙස් දෙන ලදී. මෙම ව්‍යාපෘතිය නිම වීමත් සමඟ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ වඩාත් කාර්යක්ෂම හා නවීන තාක්ෂණයෙන් සන්නද්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා…

“සාම්ප්‍රදායික ලිපිගොනු ක්‍රමයෙන් බැහැර වී තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීම හරහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය උපරිම මට්ටමින් ඉහළ නැංවීම රජයේ අරමුණයි. විශේෂයෙන්ම, ආගමික සිද්ධස්ථාන සතු පෞරාණික ලියකියවිලි, ඔප්පු සහ අනෙකුත් නීතිමය ලේඛන කාලයාගේ ඇවෑමෙන් විනාශ වීමට ඉඩ නොදී අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිතව තැබීමේ අවශ්‍යතාව්‍ය දැන් මතුව තිබෙනවා. ආගමික නායකයින්ගේද අදහස් ලබාගනිමින් වකුෆ් සභාව යටතේ ලියාපදිංචි සියලු දේපළ හා බැඳුණු තොරතුරු ඉහළම දත්ත ආරක්ෂණ (Data Security) ක්‍රමවේද යටතේ ගබඩා කිරීමේ පහසුව ඇතිකළ යුතුයි. ඒ හරහා මහජනතාවට තමන් සිටින ස්ථානයේ සිටම අන්තර්ජාලය ඔස්සේ තම අවශ්‍යතාවලට අදාළ තොරතුරු ලබා ගැනීමටත්, අයදුම්පත් ඉදිරිපත් කිරීමටත් හැකි වන පරිදි පද්ධතිය යාවත්කාලීන කිරීමට හැකිවෙනවා. ඒ වගේම මෙම ඩිජිටල් ලේඛනාගාරය තුළින් විශ්වසනීය රාජ්‍ය සේවාවක් ස්ථාපිත කළ යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here