ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියට.

0
6

අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පසුගියදා තේරී පත් විය.

මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම පසුගියදා (27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා (Sandile Edwin Schalk) ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය.

1994 වසරේදී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමත් සමඟ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිගුකාලීන සම්බන්ධතා මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම අවධාරණය කළහ. අංශ ගණනාවක් ඔස්සේ දෙරට අතර බෙදාගන්නා ලද අන්‍යෝන්‍ය සහයෝගය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කෙරිණි. සංචාරක, අධ්‍යාපනය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව මෙහිදී අවධාරණය කරන ලදී. ජාතිය ගොඩනැගීම සහ සංහිදියාව
ඇති කිරීමේ ක්‍රියාවලීන්හි දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

මෙම රැස්වීමට ප්‍රථම, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ ගරු කථානායකවරයා අතර හමුවක්ද පැවැත්විණි. මෙහිදී ජාතික සමගිය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්වූ අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here