එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආධාර රැගත් පළමු ගුවන් යානය අද දිවයිනට.

0
7

NEWSNOW | – ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ආධාර රැගත් පළමු ගුවන් යානය අද (02) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මෙම ගුවන් යානය තුළ විපතට පත් වී සිටින ජනතාව සදහා තාවකාලික නිවාස 48 ක් , දින 14 කට එක් පවුලක් සදහා අවශ්‍ය ආහාර ඇසුරුම් 2,592 ක් , කූඩාරම් , ගලවා ගැනීමේ භට කණ්ඩායම් සදහා යොදා ගන්නා වාහන , දුෂ්කර මාර්ග වල ධාවනය කළ හැකි යතුරු පැදි  ආදී භාණ්ඩ විශාල තොගයක් තිබුණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන සී.-17 වර්ගයේ ගුවන් යානයක් අබුඩාබි නුවර සිට මෙම භාණ්ඩ තොගය රැගෙන පැමිණ තිබුණි.

තවත් මෙවැනිම ගුවන් යානා 03 ඉදිරි දින කීපය තුළදී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

මෙම ගුවන් යානය පැමිණි අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය තානාපති රෂීඩ් අල් මසුරෝහි , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමිත් රඹුක්වැල්ල , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here