NEWSNOW | – 1990 වකවානුවෙහි කොටි බෙදුම්වාදීන් විසින් බලහත්කාරයෙන් පළවා හරින ලද උතුරු පළාතේ මුස්ලිම්වරු සරණාගත කඳවුරුවලට ගාල් කරනු ලදුව විවිධ දුෂ්කරතාවවලට වසර ගණනාවක් මුහුණ දුන්හ. මේ වන තෙක් ඔවුන් විඳි දුක් කරදරවලට හෝ පාඩුවලට කිසිදු සහනයක් ලබා දී නොතිබීම විශාල අසාධාරණයකි.
අදට වසර 16 කට පෙර එනම් 2009 වසරෙහි බෙදුම්වාදී යුද්ධය අවසන් වූ විට උතුරේ මුස්ලිම්වරුන් 2010 සිට නැවත තමන්ට හිමි පෙදෙස්වල නැවත පදිංචි වන්නට පැමිණේනන්ට වුහ. එනමුක් ඒ වන විට එවකට බලයේ සිටි රජය ගැසට් නිවේදනයක් හරහා ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගෙන තිබුනි. මෙම තත්වය නිසා එම පෙදෙස්වල නියම අයිතිකරුවන් වන මෙම මුස්ලිම්වරුන් දැඩි අකරතැබ්බයකට පත් වුහ.

මෙම තත්වය තුළ, උතුරු පළාතේ මුස්ලිම්වරුන් වෙනුවෙන් හඬ නැගූ එකම පුද්ගලයා වුයේ රිෂාඩ් බදියුදීන්ය. ඔහු තනිවම තමන්ට හැකි සියල්ල සිය සමුහයා වෙනුවෙන් කළේය. ඔහුගේ ප්‍රධාන සැලැස්මක් වුයේ ඉඩම් නොමැති අයට ඉඩම් සහ නිවාස ලබා දීමයි. ඒවායෙහි බොහෝ අඩුපාඩු තිබෙන නමුත් ඒ ගැන සාකච්ඡා කිරීමට මෙම ලිපිය යොමු වන්නේ නැත.
රිෂාඩ් සිය අසරණ සමුහයා වෙනුවෙන් පෙනී සිටි විට මුස්ලිම් ජනයා සහ ඔවුන්ගේ දේශපාලන නායකයන් විෂයයෙහි -යුක්තිය අයුක්තිය නොබලා- කවදත් විරෝධය පළ කරන බහුතරයේ ආකල්පය පිළිබිඹු කරමින් සිංහළ මාධ්‍යයද රිෂාඩ්ට හැකි සෑම අයුරින්ම පහර දෙන්නට විය. ඔහු විල්පත්තුව විනාශ කරන බවත්, සිංහල-මුස්ලිම් සබඳතාවයට හානි ඇති කරන බවත් කියමින් මාධ්‍යයේ සදාචාරයෙන් ඔබ්බට ගොස් රිෂාඩ්ට සහ මුස්ලිම් ජනයාට බොහෝ අසීරුතා ඇති කළහ. මේ අතර විල්පත්තුව ආරක්ෂා කරන බව පවසමින් විවිධ ඊනියා සංවිධාන කොළඹ ඇතුලු රටේ බොහෝ ප්‍රදේශවල පෙළපාලි උද්ඝෝෂනය සහ රැස්වීම් සංවිධානය කරමින් ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව නපුරන් ලෙසින් නිරූපණය කරමින් සිංහල ප්‍රජාව අතර එම ජනයා පිළිබඳ පිළිකුල සහ බෙදුම වැපිරුහ.

මෙනිසා දශක තුනක යුද්ධය නිමා වීමේ සතුට පවා සමරන්නට උතුරු නැගෙනහිර පළාත්වල මුස්ලිම්වරුන් අවස්ථාවක් නොලැබුනි. මේ අනුව කොටි ත්‍රස්තවාදින් කළාට වඩා විශාල අකටයුත්තක් නීත්‍යානුකූල රජයක් විසින්ම සිදු කරනු ලබන අවසනාවකට මෙම අසරණ ජනයා පත්ව සිටිති. මෙම ප්‍රශ්න මනාව හඳුනන පෙදෙසේම මුස්ලිමි ජාතිකයෙකුව ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික්ක ලේකම්වරයෙකු බවට පත් වන්නටද රජය ඉඩ දෙන්නේ නැත.

දැන් මෙම ගැටළුව සම්බන්ධව අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්ව ඇත. රිෂාඩ් බදියුදීන්ගේ ක්‍රියා අතිශය දුෂ්ට ඒවා ලෙස හුවා දක්වා ඔහුව දේශද්‍රෝහියෙකු සහ පරිසරය වනසන්නෙකු ලෙස නිරූපණය කර සිංහල සහ මුස්ලිම් ජනතාව අතර භේද ඇති කළ මාධ්‍ය, වත්මන් ලැබී ඇති තීන්දුවට සුළු ප්‍රමාණයේ හෝ මාධ්‍ය ආවරණයක් ලබා නොදීමට වග බලා ගෙන සිටිති. ජන කොටස් අතර බේද ඇති කර එයින් ගිනි තපින්නට කටයුතු කරන මෙම වනචාරී මාධ්‍යය එම ජනකොටස් අතර විශ්වාසය ඇති කිරීමට ලැබී ඇති අනගි අවස්ථාව යටපත් කරන්නට ක්‍රියා කර තිබීම අතිශය නිහීනය හා අශීලාචාරය.
එසේ නම් අද මෙහි මාධ්‍යය කියා ගන්නා නරුමයන්ට අවශ්‍ය වන්නේ සැමදා රටේ කලබල සහ අසමගිය තිබීමද?
පී.එම් .මුජිබර් රහ්මාන් – (LLb)

