NEWSNOW| – සාහිත්‍ය, කලාව, දේශපාලනය, ඉතිහාසය, සන්නිවේදනය හා මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පෝෂණය කළ හා සොයා පාදාගත් දැණුමෙන් හුදී ජන විඥානය ඥාණාභිවර්ධනය කිරීමෙහි ලා දශක ගණනාවක් පුරා කරන ලද සද්කාර්යය ඇගැයෙනු පිණිස “රෝහණ මද්දුමරාල” නම් වූ විශිෂ්ට සාහිත්‍යධරයා නමින් පැවති දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගයාන් ජානක මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) පුබුදිකා එස් බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහවැව මුදා දේවී රංග ශාලාවේ දී පසුගිය 17 වනදා සාර්ථකව පැවැත්විණි.
දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, පූජ්‍ය හාල්පන්විල පාලිත ස්වාමින්වහන්සේ ඇතුළු මහාසංඝරත්නය සහ සර්ව ආගමික පූජකතුමන්ලාගේ ආශිර්වාදයෙන් ඇරඹි මෙම සාහිත්‍ය කලා උළෙලේ දී රෝහණ මද්දුමරාල කලාකරුවා වෙනුවෙන් පිදෙන අනුස්මරණ සම්මානය එතුමන්ගේ බිරිද වන විශ්‍රාමලත් පරිවාස හා ළමාරක්ෂක සේවා නිලධාරිනි ගාල්ලගේ ජයසීලි ද සිල්වා මහත්මිය වෙත පිරිනමන ලදි.
මෙම උත්සවයට සමගාමීව සාහිත්‍ය, කලාව හා මාධ්‍ය යන ක්ෂේත්‍රයන් හි ඇප කැප වූ කලාකරුවන්ගේ හා මාධ්‍යවේදීන්ගේ සේවය අගය කරමින් පිරිනමනු ලබන “ කලාධිනි ” සම්මානය සම්මානලාභින් දසදෙනෙකු වෙත ප්‍රධානය කළේය.
එම සම්මානලාභින් වන්නේ, කලාකෙත පෝෂණය කිරිම උදෙසා පිදුම් ලද පූජ්‍ය තම්මැන්නාවැටියේ රතන ජෝති ස්වාමීන්වහන්සේ, ඩබ්.එම්.විවියන් ශ්‍රී අයේෂ්මන්ත මහතා, එම්.ඒ.ඩි.කේ.ජේ.මදුරප්පෙරුම මහතා, ඒ.ඒ.ඩි.ඩි.කේ.එම්.අමරසිංහ මහත්මිය, එම්.එම්.සිරිනන්දසූරිය මහතා, ඩබ්.ඒ.අරුණශාන්ති මහත්මිය,පී.ඩි. සරත් කුමාර මහතා සහ මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා කැපවූ ජයරත්න වික්‍රමාරච්චි මහතා, කේ මහාදේවන් මහතා සහ මිහිර විජේසේකර මහතා යන අයවළුන් ය.
මෙම උළෙලෙහි තවත් සුවිශේෂි අංගයක්වූයේ 2025 දිස්ත්‍රික් සාහිත්‍ය කළා මහෝත්සවය වෙනුවෙන් රචිත තම්බපණ්ණී අක්වැස්ස IIl ශාස්ත්‍රීය ග්‍රන්ථය දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගයාන් ජානක මහතා ඇතුළු පැමිණි පිරිසට දිස්ත්‍රික් සාහිත්‍ය බලමණ්ඩලයේ නිලධාරින් විසින් පිළිගැන්වීම යි.
එමෙන්ම පාසල් දරුවන් අතුරින් සාහිත්‍ය හා කලාව පිළිබඳව විශේෂ දක්ෂතා දැක් වූ අංකුර කලාකරුවන් ඇගයිමට ලක්කිරිම මෙම සාහිත්‍ය කලා උළෙලේ තවත් සුවිශේෂි අංගයක් විය.ඒ අනුව 2024 වර්ෂයේ ජාතික සාහිත්‍ය තරඟ ජයග්‍රාහකයින්, 2025 දිස්ත්‍රික් සාහිත්‍ය තරඟ ජයග්‍රාහකයින් සහ මහවැව ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ ජයග්‍රාහකයින් මෙලෙස ඇගැයුමට ලක්ක.
යටකලාන කණිෂ්ට විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කළ නව නිර්මාණ නර්තනය, ඉනෝකා නෘත්‍ය කලායතනයේ දරුවන් ඉදිරිපත් කළ වෙස් නර්ථනය හා පහතරට නර්තනය, ආරච්චිකට්ටුව සුමිහිර කලායතනයේ දරුවන් ඉදිරිපත් කළ පූජා නර්ථනය, ශසේන්ද්‍ර නෘත්‍ය කලායතනයේ දරුවන් ඉදිරිපත් කළ දමිල නර්තනය,නාත්තන්ඩිය සහිරා විද්‍යාලයේ දරුවන් ඉදිරිපත් කළ මුස්ලිම් නර්ථනය,මාදම්පේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථනයේ දරුවන් ඉදිරිපත් කළ නර්තනය සහ මහවැව සංස්කෘතික මධ්‍යස්ථායේ දරුවන් ඉදිරිපත් කළ ශාස්ත්‍රීය මිශ්‍ර නර්තනය යන නර්ථන අංගයන්ගෙන් මෙම සාහිත්‍ය කලා උළෙල වර්ණවත් විය.
මෙම අවස්ථාවට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති සාගර විජේසේකර මහතා, මහවැව ප්‍රාදේශීය ලේකම් බි.ඩබ්.එම්.එස්.බණ්ඩාර මහත්මිය, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානී ජාන්ස මහත්මිය, වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් නදීජා හේරත් මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් නිමේෂා ජයපද්ම මහත්මිය , පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරින්, සර්වෝදය,වර්ල්ඩ්විෂන්,වීහේන ෆාම්,මහජන බැංකුව, ලංකා බැංකුව, ක්ලබ් ෆාම්බේ හෝටලය , KNS ආයතනය පුහුල්හේන යන ආයතනවල නියෝජිතයින්, සාහිත්‍ය බල මණ්ඩල නියෝජිතයින්, ගුරුභවතුන්, දෙමාපියන්, දරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රදේශවාසින් සහභාගී වූහ.
අක්වැස්ස දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් සාහිත්‍ය බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලදි.