NEWSNOW| – අභිනව ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සිය ධුරයේ වැඩ භාරගැනීම ටී.බී ජයා මාවත පිහිටි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (13) පෙරවරුවේ සිදු කෙරිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේ සර්වාගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුවයි.
එහි දී අදහස් දක්වමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අවධාරණය කළේ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුනීර් මුලෆ්ෆර් මහතා පත්කිරීම තුළින් වඩාත් ඵලදායී සේවාවක් ලබා ගැනීමට ජනතාවට හැකිවනු ඇති බවයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, ප්‍රධාන ආගම් හතරට අයත් ජනතාව අතුළු සමස්ත පුරවැසියන්ගේ අපේක්ෂාව වූ උදාර සංස්කෘතික ජීවිතයක් නිර්මාණය කිරීමේ භාරධූර කාර්යයට එම චෝදනා කිසිසේත් ම බාධාවක් කර නො ගන්නා බව පැවසී ය.
අප පසුකරමින් සිටින අගතිගාමී සමාජයේ පරාජිත දේශපාලන කණ්ඩායම් විසින් එවැනි අසත්‍ය චෝදනා එල්ල කළ ද ජනතාව ඒ පිළිබඳ මනා අවබෝධයකින් පසුවීම සතුටට කරුණක් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අභිනව ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සියලු ආගම් සහ දර්ශනවලින් පෙන්වාදෙන සත්‍යයේ හඬ වඩාත් ජනගත කිරීම සඳහා තමා, සියලු ශක්ති ප්‍රමාණයෙන් කැපවන බවයි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරු, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී.සේනාරත්න, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුතන්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චතුරි පින්තු, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.