විනාශය දෙගුණ කරන ට්‍රම්ප්ගේ ඊනියා ගාසා සාම සැලසුම

0
7

කර්තෘ: ආචාර්ය මොහොමඩ් මක්‍රම් බලවිMohammed Makram Balawi | Middle East Eye

NEWSNOW | -ගාසා තීරය ඇතුලත් වන මැද පෙරදිග කලාපයේ පවතින ගැටුම 2023 ඔක්තෝම්බර් 7 වනදා පටන් ගත් එකක් නොව එය ඉතිහාසයේ ගැඹුරින් මුල් බැස ගත් අර්බුදයක් මුල් කර ගත්තකි. එක්සත් ජනදපය සහ යුරෝපා රටවල් සිය ආධිපත්‍යය එහි ස්ථාපිත කිරීමට කරන කුමන්ත්‍රණ නිසා එය දශක ගණනාවත් පවතින දරුණු යුද්ධයක් බවට පත්ව ඇත. සිය ආධිපත්‍ය අරමුණුවලට වාසිදායක ලෙසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සියලු යෝජනා අසාර්ථක වී ඇත්තේ එහෙයිනි. මෙම කල්ලිය දිගින් දිගටම තමන්ට වාසි වන ලෙසින් මෙම අර්බුදය අවසන් කරන්නට සිතයි නම් ඉතිහාසය නැවත නැවත ආපසු එනු නියතය. මෙවන් තත්වයක ඊශ්‍රායලයේ අමානුෂික යුධමය ක්‍රියාමාර්ගවලට පළමු වරට ගෝලීය විරෝධය ඒකමතිකව පළ වී ඇත.

ධවල මන්දිරයෙහි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර මෑතක පැවති හමුවේදී, ට්‍රම්ප්ගේ මැද පෙරදිග සාම සැලැස්ම ”වසර 3,000 ක් පැවති ගැටුමක් අවසන් කිරීම” සඳහා සම්පාදනය කළ එකක් බව ඔවුන් ප්‍රකාශ කළෝය. මෙම ප්‍රකාශයෙන් හෙළි වූයේ කලාපය තමන්ට අවශ්‍ය පරිදි හසුරවා ගන්නට බටහිරට ඇති තණ්හාවයි.

සියවස් ගණනාවක් පුරා ඉස්ලාමයට එරෙහිව පැවති කුරුස යුද්ධය යුරෝපයට දැවැන්ත විනාශයක් ගෙන දෙමින් අසාර්ථක වූවා සේම ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ ඔහුගේ මැදපෙරදිග ඉලක්කද අසාර්ථක වුවා පමණක් නොව එය ඇති කළේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයකි. ට්‍රම්ප්ගේ එම වෑයම සිරිත් පරිදි ඊශ්‍රායේලය තවතවත් බලගන්වා කලාපයේ ඒකාධිකාරි නිරපේක්ෂ පාලකයා ලෙස ඊශ්‍රායේලය පත් කිරීම මිස වෙන දෙයක් නොවේ.

2023 ඔක්තෝබර් 7 වන දින සිදුවීම්වලට සෘජු හේතුවක් වූයේ ට්‍රම්ප් වැන්නන්ගේ මෙම අහංකාර ප්‍රවේශයයි. යටත් විජිතවාදයට එරෙහි පලස්තීන ජනයාගේ දිගු අරගලය, වසර ගණනාවක සාකච්ඡා, ජාත්‍යන්තර යෝජනා සහ ද්වි-රාජ්‍ය විසඳුමක් පිළිබඳ නිමක් නැති පොරොන්දු සමඟ තවතවත් ශක්තිමත් වු අතර එදා ගල්මුල්වලින් සහ හු කීමෙන් යුදෙව් හමුදාවට එල්ල වුනු විරෝධය අද හයිපර්සොනික් සහ සුපර්සොනික් මිසයිලවලින් ප්‍රහාර එල්ල කිරීම දක්වා ප්‍රබල වී ඇත.

වසර දෙකකට පෙර එනම් 2023 ඔක්තෝම්බර් 7 වන දින හමාස් සටන්කාමී සංවිධානය විසින් දියත් කරන ලදිඅල්-අක්සා ගංවතුර මෙහෙයුම’ සිදු වුයේ ට්‍රම්ප් වැන්නන්ගේ ඊනියා යටි අදහස් කිසි විටෙක සාක්‍ෂාත් නොවනු ඇතය යැයි පවසන ප්‍රකාශනයක් ලෙසිනි. මෙම අර්බුදයට සාධාරණ විසඳුමක් ලබා නොදී ජනසංහාරයකින් එය අවසන් කළ හැකිය යැයි සිතු ඇමරිකානු සහ යුරෝපා කල්ලිය ගලේ පැහැරූ බළළුන් මෙන් අද වික්ශිප්තව වී සිටිති. පලස්තීනුවන් මට්ටු කිරීම මෙතරම් අසීරු වෙතැයි හෝ එය කිසිසේත් කළ නොහැක්කක් බවට සංඥා පළවෙතැයි මෙම සාහසිකයන් කිසිවිටෙක නොසිතූහ.

මෙවර ගාසා තීරයේ ඇති වී වසර දෙකක් අඛණ්ඩව පවතින ගැටුම නිසා දරුවන් සහ ස්ත්‍රින් දහස් ගණනක් ඇතුළු පලස්තීන සිවිල් වැසියන් ලක්‍ෂයක් පමණ ඝාතණය වී සිටිති. ලෝකයේ වාර්තාගත වැඩිම ළමා අවයව අහිමි වූ සංඛ්‍යාව සිටින පෙදෙස බව ගාසා තීරය අද පත්ව ඇත. මෙය වනාහි පළමු සහ දෙවන ලෝක යුද්ධ සමයෙහි සිදු වු අංගවිකලත්වයට වඩා අධික සංඛ්‍යාවකි. එමෙන්ම මෙම වසර දෙකක කාලය ඇතුලත ගාසාවෙහි ඝාතණය වු මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාවද එම දැවැන්ත සංග්‍රාම ද්විත්වයෙහි සිදු වු මාධ්‍යවේදී ගාතණවලට වඩා අධිකය. මෙලෙසින් කලාපීය ප්‍රශ්නයක්ව පැවති පලස්තීන අර්බුදය වත්මන ජාත්‍යන්තර සමුහයාට තවත් කොතෙකුත් නිහඬව සිටිය නොහැකි ගෝලීය අර්බුදයක් බවට පරිවර්තනය වී ඇත.

යුදෙව්වන් සමග එක්ව බටහිර කුමන්ත්‍රණකරුවන් සිතූ පරිදි පලස්තීන වැසියන්ගේ ස්වෛරී රාජ්‍ය අපේක්‍ෂාව මුලිනුපුටා දැමීමට සමත් හැකි වී නැත. ඒ වෙනුවට, එය ඊශ්‍රායේලය ලොව හුදකලාව කර යුදෙව්වන්ගේ සැබෑ අමානුසික මුහුණුවර ලොවට අනාවරණය කර දේශීයව සහ ජාත්‍යන්තරව එහි ප්‍රතිරූපයට අපකීර්තිය ලබා දෙම්න් සිටියි. එපමණක් නොව ඊශ්‍රායේලයේ අපරාජිත යුධ ජවයද මිත්‍යාවක් කරමින් ආර්ථිකයද වළපල්ලටම ඇද දමා ඇත.

එපමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර අධිකරණය සහ එජා ආරක්ෂක කවුන්සිලය මත ඇති ගෝලීය විශ්වාසය ඛාදනය වී ඇත. මෙයට හේතුව තේවන ලෝකයේ රටක සුළු ප්‍රමාණයේ යුධ අපාරධයක් සිදු වු විගස එජා හමුදා එහි ගොඩ බැස බග කිව යුතු ප්‍රධානීන් අත්අඩංංගුවට ගත්තද දිනපතා පාහේ සිය ගණනින් සිවිල් වැසියන් මරා දමමින් සිටින නෙතන්යාහු වැනි මරුවන් සුවසේ නිරුපද්‍රිතව සිටිනු දැකිය හැකි වීමයි. මෙම තත්වය ලොව කැලෑවක් බවට පරිවර්තනය කර ඇත.

ට්‍රම්ප්ගේ පළමු ධූර කාලයේ ඇති වුයේද මෙම තත්වයමය. සාමය සඳහා වන නෝබෙල් ත්‍යාගයක් අත් කර ගැනීමට ට්‍රම්ප්ට ඇති තදියම නිසා කඩිමුඩියේ සාම සැලැස්මක් සම්පාදන කර හමාස් සංවිධිනයට ඉදිරිපත් කළද එහි ඇති කිසිසේත් පිළිගත නොහැකි වගන්ති නිසා එම සංවිධානය එම යෝජනාවට පයින් ගසා ඇත. මෙයින් දණ්ඩෙන් පහර කෑ නයෙක් මෙන් ට්‍රම්ප් කුපිත වී මෙතෙක් ලොව නොදුටු විනාශයක් ගාසාවට ඇති වන බවට තර්ජනය කර ඇත. ඇත්තෙන්ම ලොව මෙතෙක් දැක නැති විනාශයක් පලස්තීනුවන් ගතවුනු වසර දෙකක කාලය තුල අත් දුටු නිසා ට්‍රම්ප්ගේ මෙම ගෙරවිල්ලද හමාස් තුට්ටුවකටත් මායිම් කළේ නැත.

ට්‍රම්ප්ගේ නව සැලැස්ම යෝජනා කරන්නේ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහමුලින්ම උදුරා දමන්නටය. එය සාර්ථක වුවහොත් කලාපයේ එකම චණ්ඩියා බවට ඊශ්‍රායලය පත් වී තවත් ගැටුම් පුපුරා යාමට හේතු වනු ඇත. ඇතැම් විට දැනටත් වඩා භයානක හා ලේ වැගිරීම්ද සිදු වන්නට ඉඩ ඇත. අරාබි සහ ඉස්ලාමීය ලෝකය මෙම යථාර්ථය වටහා ගත යුතු අතර නෙතන්යාහුගේ සහ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රණශීලී සැලසුම්වලට එකගතා පළ කිරීම දේශපාලන සියදිවි නසා ගැනීමක් බව ඔවුන් තේරුම් ගත යුතුය. ඉතිහාසය ඔප්පු කර ඇත්තේ ඊශ්‍රායලයට තේරෙන එකම භාෂාව බලය තමන් රඳවා ගැනීමේ තර්කය පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here