ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්දියානු සංගමයෙන් සංස්කෘතික වැඩසටහනක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක්

0
7

NEWSNOW | – ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන්  ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය (The Sri Lanka – India Society) විසින් සංවිධානය කරන ලද සංස්කෘතික වැඩසටහන සහ රාත්‍රී භෝජන සංග්‍රහය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේ දී ඊයේ  (15) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා සහ තනුජා ජා මැතිනිය විසින් කරනු ලැබූ ආරාධනාවකට අනූව අමාත්‍යවරයා මෙම වැඩසටහනට සහභාගී විය.

අපගේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන්  ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය සංවිධානය කරන ලද වැඩසටහනට එක්වීමට ලැබීම පිළිබඳව සතුටට පත් වන බවත්, ඉන්දීය රජයට සහ ජනතාවට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරය පැවැසීය.

නිදහස් දිනය යනු නිදහස සැමරීමක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රගතියේ වටිනාකම් ආරක්ෂා කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ ජනතාවකගේ ඔරොත්තු දීමේ හැකියාව, එකමුතුකම පිළිබඳ සිහිපත් කිරිමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයන් වශයෙන්, ඉන්දියාවේ ජයග්‍රහණ පිළිබඳව සතුටට පත් වන බව ද පැවැසීය.

ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවය සබඳතාවය සියවස් ගණනාවක් පුරා පෝෂණය වී ඇති බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අසල්වැසියන් ලෙස මෙන්ම  පවුලක් ලෙස බැඳී සිටින බව ද ශ්‍රී ලංකා-ඉන්දියානු සමාජය සංස්කෘතික වැඩසටහන්, අධ්‍යයන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙම මිත්‍රත්ත්වය ආරක්ෂා කිරීම සඳහා අගනා කාර්යභාරයක් ඉටු කර ඇති බව ද අවධාරණය කරන ල ද අමාත්‍යවරයා මෙරට අභියෝගාත්මක කාලවල දී මානුෂීය සහයෝගය සහ සහයෝගීතාවය පුළුල් කරමින් මනා සහයෝගයක් ලබාදුන් බව ද පැවැසීය.

නූතන යුගයේ දී, දෙරට අතර සහයෝගීතාවය බහු ක්ෂේත්‍ර හරහා විහිදෙන බවත්, ඉන්දියාව ශ්‍රී ලංකාවේ වෙළඳාම සහ ආයෝජන, කර්මාන්ත සහ ජීවනෝපායන් සඳහා සහාය වීම සඳහා ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව ද මෙහිදී පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය සේවා ද දෙරට අතර සහයෝගීතාවයේ තවත් දීප්තිමත් උදාහරණයක් බවත්, කොළඹ ඇපලෝ රෝහල් පිහිටුවීම, පරිත්‍යාගයක් ලෙස  ගිලන් රථ සේවාවක් මෙරට ආරම්භයට කටයුතු කිරිම ඇතුළු මෙරට සෞඛ්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය සඳහා ඉන්දිය රජය නිබඳව සහයෝගය ලබා දි ඇති බව ද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කරන ලදි.

එමෙන්ම අධ්‍යාපනය සහ සංස්කෘතික සහයෝගීතාවය සහ දේශපාලන හා උපායමාර්ගික සම්බන්ධතාවය පිළිබඳව ද අදහස් දැක් වූ අමාත්‍යවරයා ශිෂ්‍යත්ව, පුහුණු වැඩසටහන්, සංස්කෘතික උත්සව, කලාත්මක සහයෝගීතාවයන් මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පොදු අභියෝගවලට මුහුණ දීමේදී උරෙන් උර ගැටී ඇති බවත්, කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සහතික කිරීමේ වගකීම දරන බවත් ඉන්දියාවේ අසල්වැසි ප්‍රථම ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කලාපීය සහභාගීත්වය වැනි මුලපිරීම් ගොඩනැගී ඇත්තේ හවුල්කාරිත්වය සහ බෙදාගත් වර්ධනය පිළිබඳ දැක්මක් ලෙස බව ද පැවසීය.

ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සමරන අවස්ථාවේ ශ්‍රී ලංකාව අතීතය ගැන මෙනෙහි කිරීම පමණක් නොව අනාගතය දෙස ද අවධානය යොමු කරන බවත්,  ඉදිරි වසරවල දී වෙළඳාම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, තාක්ෂණය සහ සංස්කෘතික හුවමාරුව යන ක්ෂේත්‍රවල සබඳතාවයන් ගොඩනඟා ගැනිම අඛණ්ඩව සිදු කළ යුතු බවත්, වඩාත්ම වැදගත් දෙයක් ලෙස සියවස් ගණනාවක් තිස්සේ අපට මඟ පෙන්වූ විශ්වාසය, ගෞරවය සහ මිත්‍රත්වයේ වටිනාකම් අඛණ්ඩව පෝෂණය කළ යුතතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

මෙම අවස්ථාව ඉන්දියාවේ නිදහස සැමරීමක් පමණක් නොවන බවත්, අපගේ ජාතීන් දෙක අතර කල් පවතින මිත්‍රත්වය නැවත තහවුරු කිරීමක් බවත්, 79 වන නිදහස් දිනයේදී ඉන්දීය ජනරජයට, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොබිඳිය හැකි බැඳීම්වලට සහ ඉදිරි සහයෝගිතා ගමනට ශ්‍රී ලංකාව සුභ පැතුම් එක් කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසිය.

ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය 1949 වර්ෂයේ දී ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමාජීය හා සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සදහා අනගි මෙහෙවරක් මෙම සංගමය විසින් ඉටුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ උත්සාහයේ දී ඉන්දියාව ප්‍රමුඛ පෙළේ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන අතර, දෙරට අතර ගැඹුරු වාර්ගික හා සංස්කෘතික සබඳතා වසර 2500 කට වඩා පැරණි වේ.

ශ්‍රී ලංකා ඉන්දියානු සංගමයේ සභාපති යමුනා ගනේෂලිංගම්, ලේකම් සරවනන් නීලකන්දන්, උප සභාපතිනි රෙන්ගනාදන් යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා-ඉන්දියානු සංගමයේ සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here