NEWSNOW| – තායිලන්තයේ පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් සහභාගී වූ ඉසව් වලදී රිදී පදක්කම් 03 ක් දිනා ගෙන ඊයේ(15) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ලෝක බැඩ්මින්ටන් සම්මේලනය සහ තායිලන්ත බැඩ්මින්ටන් සංගමය එක් වී සංවිධානය කළ මෙම තරගාවලිය ලෝකයේ රටවල් 53 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,796 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 09/07 දින සිට 09/14 දින දක්වා තායිලන්තයේ පතායා නුවර පවත්වා තිබුණි . එය මෙතෙක් ලෝකයේ පැවති ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියකට සහභාගී වූ වැඩිම ක්‍රීඩක සංඛ්‍යාවක් සහභාගී වූ තරගාවලිය වීම විශේෂත්වයකි .
එහිදී වයස අවුරුදු 50 න් ඉහළ කේවළ අංශයෙන් තරග කළ චන්ද්‍රිකා ද සිල්වා එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .
එසේම වයස අවුරුදු 40 න් ඉහළ මිශ්‍ර යුගළ තරග ඉසව්වට සහභාගී වූ නදීශා ගයන්ති ද එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .
එමෙන්ම වයස අවුරුදු 35 න් ඉහළ කේවළ අංශයෙන් තරග කළ නිලූක කරුණාරත්න එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය .
මොවුන් ඇතුළු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ඊයේ පස්වරුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 415 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ , ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .