මෙරට සංවර්ධනයට අඛණ්ඩ දායකත්වය ලබාදෙන සෞදි රජය

0
40

NEWSNOW| – සවුදි අරාබිය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද 11 වන සංවර්ධන ව්‍යාපෘතිය වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය’ අද (14) මහජන භාවිතය සඳහා විවෘත කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා සවුදි සංවර්ධන අරමුදල (SFD) සෞදි රියාල් මිලියන 105 හෙවත් ලංකා රුපියල් මිලියන 8780 ක් ප්‍රදානය කර ඇත.

මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය සහ මාකඳුර කැම්පස් සඳහා නව ගොඩනැගිලි, පන්ති කාමර වැඩිදියුණු කිරීම, පවතින පීඨවල අධ්‍යාපන සම්පත් වැඩි කිරීම මෙන්ම නවීන උපකරණ ලබා දීම ආදිය ඇතුල් වෙයි. මෙමගින් විශ්වවිද්‍යාල දෙකෙහිම සිසුන් 5,000 කට වැඩි පිරිසක් ප්‍රයෝජන ලැබීමට නියමිතය. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සහ අවට ප්‍රජාවගේ දිගුකාලීන ආර්ථික හා සමාජීය සංවර්ධනයට දායක වීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ. මෙයට අමතරව සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා තවත් සවුදි රියාල් මිලියන 110 ක්ද (රුපියල් මිලියන 9200) ලබා දීමටද නියමිතය.

අද(14) පෙ.ව. 9.00 ට යෙදුණු සුබ මොහොතින් මෙම අධ්‍යාපනික සුභසාධන ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. මේ උළෙලට සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී අතිගරු සුල්තාන් අබ්දුල්රහ්මාන් ඒ අල්මර්ෂාඩ් මහතා සහභාගී විය.

තවද, පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සම්බන්ධීකරණය කිරීමෙහිද සෞදි සංවර්ධන අරමුදල සහය විය. සංචාරයේදී සවුදි දූත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමටද නියමිතය.

පසුගිය දශක කිහිපය තුල සවුදි රියාල් බිලියන 1. 5 ක් හෙවත් ලංකා රුපියල් බිලියන 125 ක් පමණ වන සහන ණය ඇතුලු විවිධ මුල්‍ය සහයෝග සෞදි සංවර්ධන අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. මෙම අනුග්‍රහ හරහා සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති 14 කට 1981 වසරේ සිදු කරන ලද කොළඹ ජල සම්පාදන සහ ජලාපවහන ව්‍යාපෘතිය, ලංකාවේ දිගම පාළම වන කින්නියා පාළම් ව්‍යාපෘතිය, කොළඹ ජාතික රෝහලේ ස්නායු කම්පන ඒකකය ඉදි කිරීම, විදුලිබල සම්ප්‍රේෂන ව්‍යාපෘතිය, කළු ගග සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ වම් ඉවුරු බී ව්‍යාපෘතිය, කොළඹ මහ රෝහලේ සෙෘඛ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, මඩකළපු-ත්‍රිකුණාමලය මහා මාර්ග ව්‍යාපෘතිය, සබරගමුව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ව්‍යාපෘතිය, පේරාදෙණිය-බදුල්ල-චෙංකලඩි මාර්ග ව්‍යාපෘතිය ආදිය ඇතුලත් වෙයි.

මෙලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති, විශේෂයෙන් අධ්‍යාපනික, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමෙහි කිරීමෙහිද සෞදි සංවර්ධන අරමුදල අඛණ්ඩ කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. ශ්‍රී ලංකාව පසුගිය වකවානුවෙහි බංකොලොත් බව ප්‍රකාශ කළ විට පවා ශ්‍රී ලංකාවට අරමුදල් ලබා දීම අත් නොහිටවා අඛණ්ඩව සහය ලබා දුන් ලොව එකම රට සවුදි රාබිය බව මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.