ඩොලරයට හිස නැමීමද – බුදු දහමට අවනත වීමද?

0
56

(නීතිඥ මාස්.එල්. යුසුෆ් )   

මානව වර්ගයා අතර සාමය, යහපැවැත්ම සහ මෛත්‍රිය උනන්දු කරන කරණිය මෙත්ත සූත්‍රය නිතර නිතර රට පුරා පන්සල්වල මහ හඬින් සජ්ජායනා කරනු ඇසිය හැකිය.

එනමුත් බුදු රජාණන්වහන්සේ දෙසු ධර්මය සහ අහිංසාවාදයේ ඉගැන්වීම් මත ගොඩ නැගුනු ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාකික ජාතියට මග පෙන්වන ගෞරවනීය සංඝ නායකයන් කිසිවෙකු මේ දක්වා පලස්තීනයේ වසර දෙකකට ආසන්න කාලයක් පුරා සිදු වෙමින් පවතින කුරිරු ජන සංහාරය ගැන තම කණස්සල්ල හෝ හෙළා දකීම ප්‍රකාශ කර නොතිබීම ඉතා සංවේගජනක නොවේද?

මෛත්‍රිය කොහෙද?

අනුකම්පාව සහ දයාව දැක්විය යුතු මනුෂ්‍ය වර්ගයාට පලස්තීන ජාතිකයන්ද ඇතුලත් බවට සැකයක් නැත. අන් ජන සමාජවල සිටිනා සේම පලස්තීනයේද ගැබිනි මව්වරුන්, තොටිල්ලේ සිටින දිනක් වයසැති බිළිඳන්, අන්ධ සහ ආබාධිත පුද්ගලයන්, ඇඳට වැටී සිටින අංශභාග රෝගීන්, කෙළි ලොල් වියේ කුඩා දරුවන්, අනාගතය ගැන සිහි මවමින් සිටින තරුණ තරුණියන් මව්වරුන් සහ පියවරුන්, ආච්චිලා, සීයලා, මුනුබුරන් ආදි සියල්ලන්ම සිටින අතර මේ සියල්ලනවම කුරිරු හා අමානුෂික ලෙස දිනපතා පාහේ ඊශ්‍රායල හමුදාව විසින් ඝාතණය කරනු ලැබේ. මෙයට අමතරව කුසගින්න නිසා මිය යන්නන්ද ඖෂධ නැති නිසා මිය යන්නන්ද වෙති. මොවුන්ගේ මූලික අවශ්‍යතා ඇතුලු මානව හිමිකම් සැලසුම්සහගව සහ හිතාමතාම ඊශ්‍රායලය විසින් අහිමි කරනු ලැබේ. මෙලෙසින් පලස්තීන ජනතාව විඳින වචනවලින් විස්කර කළ නොහැකි දුක් වේදනා පිළිබඳ පුවත් සවන් වැකෙන විට සහ දසුන් දකින විට උක්ත සූත්‍රයේ මෙම වචන පහත ආකාරයෙන් දෝංකාර දෙයි.

‘සිය දිවියෙන්ම සහ මුළු හදින්ම මවක් තම එකම දරුවා ආරක්‍ෂා කරන්නා සේ මුළු ලොවමටම දයාව පතුරවමින් සියළු ජීවීන් රැකිය යුතුය’ පාලි බසින් වන බුදු වදන් පරිවර්ථනය කළ යුදෙව් ජාතිකයෙකු වන ‘පුජ්‍ය බික්කු බෝධි’ No time for silence (නිහඬව සිටීමට කාලය නැත) යන මැයෙන් ලියු ලිපියෙහි මෙසේ සඳහන් කර ඇත.”අත් පා කපා දමා සිරුරු කැබලිවලට වෙන් වු ළදරුවන්ගේ දසුන්, තොටිලිවල අසරණව සිටින බිළිඳන්, පොළොවට සමතලා කරනු ලැබු කිතුනුවන් සහ මුස්ලිම් පල්ලි, ජලය සහ ආහාර ඉල්ලා විලාප තියන්නන්, මිනිසුන්ගෙන් පිරී ඉතිරුනු කඳවුරුවල සිටින සරණාගතයින්, සමූහ මිනීවළවල්වල්, ඇස් බැඳ නිරුවත් කරනු ලදුව වීදි ඔස්සේ ගවයන් මෙන් ඇද ගෙන යනු ලබන පලසිතීනුවන්ගේ දසුන්’. මෙවන් දසුන් මට පෞද්ගලිකව මගේ සියලු සාමාන්‍ය ක්‍රියාකාරකම් – බෞද්ධ දර්ශනයේ සංකීර්ණතා සාකච්ඡා කරන විට – නීරස හිස් සහ නිෂ්ඵල ලෙසින් පෙනේ. විකෘති වූ සිරුරු සහිත දරුවන්ගේ සහ කුසගින්නෙන් පෙළෙන පවුල්වල රූප මනස මැවෙන විට භාවනාව පවා මට දුෂ්කර වේ. මෙම කුරිරුකම් අපට අදාල නොවන්නේය යැයි කොතෙකුත් කියමින් සිටිය නොහැක.’

බෞද්ධ අවිහිංසාවාදී පරමාදර්ශය, ඝාතනයට එරෙහි ව්‍යුහ, කරුණාවේ ප්‍රමුඛතාවය, අර්බුදයට විසඳුමක් ඉල්ලා සිටින තවත් බොහෝ අය සමඟ අපගේ හදවත්, හඬවල් සහ ක්‍රියාවන් එක් කිරීමට අපට ඇති බැඳීම අවධාරණය කරයි. (2024 ජූලි, ගාසා ධර්මයේ ප්‍රතිචාරයක් ඉල්ලා සිටී).

බියගුලුකම නැමති නිර්ලජ්‍ජි ක්‍රියාව

ඊශ්‍රායලය සමඟ සබඳතා පැවැත්වීම පිළිබඳ ප්‍රශ්නය රජයේ අමාත්‍යවරුන් ඉදිරියේ තැබු විට, ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ එය දේශපාලන සම්බන්ධතාවයක් නොව ආර්ථික සම්බන්ධතාවයක් පමණක් බවයි. බැලූ බැල්මට එය බියගුලුකමෙන් වසා ගත් නිදහසට කරුණු කීමකි. පෙර නොවූ විරූ ජන සංහාරයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායලය වැනි රජයක් සමඟ ශ්‍රී ලංකා රජයට සබඳතා පැවැත්විය හැක්කේ කෙසේද?

1998 ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට අනුව, ජන සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද අපරාධ සහ ආක්‍රමණශීලී අපරාධ සම්බන්ධයෙන් දැනටමත් ඊශ්‍රායල බලධාරීන් සිටින්නේ විත්ති කූඩුවෙහිය.

8 (2) වගන්තියට (අ) අනුව යුද අපරාධ’ යන්නෙන් අදහස් වන්නේ: (අ) නීති විරෝධී ලෙස සහ සිතා මතාම 1949 ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමයි. එනම්, හිතාමතා ඝාතනය කිරීම වධහිංසා පැමිණවීම හෝ අමානුෂික ලෙස සැලකීම, හිතාමතාම දරුණු හිංසන ඇති කිරීම, ශරීරයට හෝ සෞඛ්‍යයට බරපතල තුවාල සිදු කිරීම දේපළ විනාශ කිරීම සහ අත්පත් කර ගැනීම ආදියයි.

8 (2) වගන්තිය :(b) (xxv ජිනීවා සම්මුතීන් යටතේ සඳහන් කර ඇති පරිදි සහන සැපයුම් හිතාමතාම බාධා කිරීම ඇතුළුව, සිවිල් වැසියන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අහිමි කිරීම, සිවිල් වැසියන් කුසගින්නේ තැබීම ප්‍රහාරක ක්‍රමයක් ලෙස හිතාමතාම භාවිතා කිරීම’.

ජනසංහාරයට සහකරුවෙකු වීම

1967 ට පෙර පැවති දේශසීමාවලට ඉශ්‍රායේලය විසින් කරන ලද කිසිදු වෙනසක් පිළි නොගන්නා ලෙස සහ අත්පත් කරගත් ප්‍රදේශවල ඉශ්‍රායේලයට ස්වෛරීභාවය ඇති බවක් පිළිගන්නා කිසිදු ගිවිසුමකට නොඑළඹෙන ලෙස එජා මහා සභාව සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින අතර මෙයට ශ්‍රී ලංකාවද අත්සන්කරුවෙකි. වගවීමේ පියවර හරහා මෙන්ම සියලු ජාත්‍යන්තර නීතිවලට ගරු කිරීමද මෙයට ඇතුලත් වෙයි” (යෝජනාව 74/11 (2019)). තවද, 277 ඡේදයෙහි ජාත්‍යන්තර   අපරාධ අධිකරණයද මෙය අවධාරණය කරයි.

තවද, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අවශ්‍ය කරන යුද අපරාධකරුවෙකු වන බෙන්ජමින් නෙතන්යාහු වැනි අගමැතිවරයෙකු සමඟ ලක් රජයට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගත හැක්කේ කෙසේද? මෙය නිසා ජන සංහාරයට ඉශ්‍රායේලය සමඟ හවුල් වූ බවට අපේ රජයට කවදා හෝ චෝදනා එල්ල නොවේ යැයි කාට නම් කිව හැකිද? එසේම ඊශ්‍රායලය වැනි රටක් සමඟ ගනුදෙනු කිරීම මගින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපේ රජයට කවදා හෝ චෝදනා එල්ල වීමේ අවදානම් අපට බැහැර කළ හැකිද?

ජීවනෝපායට ඇති අයිතිය (සම්ම ආජීව)

තෙමේම බෞද්ධයෙකු වන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, තීරණ ගන්නන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් 90% ක් පමණ බෞද්ධයන් වන රජයකට නායකත්වය දෙයි. බුදුන් රජාණන් වහන්සේ විසින් වදාල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් මූලධර්මයක් වන්නේ නිවැරදි ජීවනෝපායයයි (සම්මා ආජීව). සාමන්‍ය වහරෙැන් කීවොත් මෙය හරි හම්බ කිරීමයි’. මේ අනුව ඊශ්‍රායලයට ශ්‍රමිකයන් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය විමසුමට ලක් කරන විට පැහැදිලි කිරීම් අවශ්‍ය වන කරුණු කාරණා ගණනාවක්ම තිබෙනු දැකිය හැකිය.

බෞද්ධ අවබෝධයට අනුව, සාධාරණ ජීවනෝපායක් පදනම් වන්නේ එය අන් අයට සිදුකරන බලපෑම සහ එම ජීවනෝපාය හෙවත් රැකියා කරන්නාගේ අරමුණු අනුවය. වත්මන් සන්දර්භය තුල ඊශ්‍රායලය වැනි ජන සංහාරයක නියැලී සිටින කුරුරි පාලනයකට ලංකාවෙන් ශ්‍රමිකයන් යැවීම මෙම කෝණවලින් විසමන විට අතිශය ප්‍රශ්න සහගත තත්වයක් ඇති වෙයි. එනම් ඊශ්‍රායලයේ දැඩි වධ හිංසාවලට ලක්ව සිටින අසරණ පලස්තීන ජනතාවට මෙයින් සිදු වන්නේ දැඩි අකටයුත්තකි. මෙවන් තත්වයක යුදෙව්වන්ට ලාංකිකයන් බැලමෙහෙවර කිරීම – තාක්ෂණිකව නීත්‍යානුකූල විය හැකි වුවද – හරි හම්බ කිරීමේ’ ආත්මය ඒ තුල ගැබ්ව නැත. බුදු දහම දෙසන සාධාරණ ජීවනෝපායේ සංකල්පයට අනුව එය සෘජුව හෝ වක්‍රව අන් අයට හානියක් සිදු නොකළ යුතු අතර අන් අයට හානියක් සිදු කිරීමට අනුබලද නොදිය යුතුය. පලස්තීන ජනයා විඳින දුක ගැන සංවේදිමත් වීම උක්ත සංකල්පයේ දිගුවක් වන බව මෙහි අවධාරණය කළ යුතුය. වෙනත් ලෙසකින් කියනවා නම් තවත් කෙනෙකුට දුක් වේදනා ගෙන දීමට අනුබල දෙන රැකියාවක නිරත වීම යුක්තිසගගත ජීවනෝපායක් විය නොහැක.

විශ්වාස ද්‍රෝහය

සිගාලෝවාද සූත්‍රය අවධාරණය කරන්නේ නරක මගක් හරහා ධනය ඉපැයීම සාධාරණ ජීවනෝපායක් නොවන බවයි. මෙය මිනීමැරුම් අපරාධවල දෛනිකව නිරතව සිටින ඉශ්‍රාf්යලය වැනි පාලනයක් සමඟ රජය දක්වන සහය සහ පවත්වන සම්බන්ධතාවය සෘජුවම ආමන්ත්‍රණය කරයි. මෙයට අමතරව මජ්ජිම නිකාය සියලු ආකාරයේ අවස්ථාවාදය සහ උපාමාරුවලට එරෙහිව අනතුරු අඟවනු දැකිය හැකිය. අසරණ පලස්තීන ජීවිතවල වියදමින් වත්මන් රජය ආත්මාර්ථකාමීව සහ අවස්ථාවාදීව වහ වහා ඩොලර් ඉපැයීමට උත්සාහ කළ හැකිය. මෙමගින් පලස්තීනයට සහය දක්වන්නට බැඳුනු රජයක් වන ශ්‍රී ලංකා රජය එම පීඩිත වැසියන් අප කෙරෙහි තැබු විශ්වාසය නිර්ලජ්ජි ලෙස මුදලට විකුණමින් තම ප්‍රජාව අසාධාරණ මුදල් ඉපැයීමකට පොළඹවමින් සිටියි.

ඩොලර්ද ධර්මයද? තීරණයක් ගැනීමට කාලයයි

අවස්ථාවාදය යනු නීතියට පටහැනි නොවේය යැයි කෙනෙකු යැයි තර්ක කළ හැකිය එනමුත් එය දැඩි ලෙස සදාචාර විරෝධී වන අතර එය පොළඹවනු ලබන්නේ ශෝකයට මුල් වන තණ්හාව මගිනි. තණ්හාව අනුකම්පාව හෝ සාධාරණත්වය සලකා බලන්නේ නැත. තවද එය අවංකභාවය පාගා දමන අතර සමහර විට වංචාවටද මග පාදන හෙයින් සාරධර්ම විරෝධීය. අනුර ජනාධිපතිවරයා වාසිය ගැන සිතන්නට පෙර තම හෘදය සාක්ෂියට මඳක් සවන් දිය යුතුය. ඩොලර් සොච්චමකට ශ්‍රේෂ්ඨ ධර්මයක ඉගැනුම් විකුණා දැමීම ගැන ඔහු දෙවරක් නොව කිහිප වතාවක්ම සිතිය යුතුය. සල්ලි වෙනුවෙන් ධර්මය මත ගොඩනැගුනු සත්කාරගුණය ඇති උතුම් ජාතියක ආත්මය අලෙවි කිරීමට ඔහුට කිසිදු අයිතියක් නැත. එවන් සාපරාධී කල්ලියක් සමග හාදකම් පැවැත්වීමෙන් අනුර ජනාධිපතිවරයා මෙම දේශය වැරදි පිළට සහය දක්වන්නට කටයුතු කළ නායකයෙකු ලෙසින් ඉතිහාස ගත වනු ඇත.

‘තුන්වන රාජ්‍යයන් හැකිතාක් දුරට ජන සංහාරය වැළැක්වීම සඳහා ඔවුන්ට සාධාරණ ලෙස යෙදිය හැකි සියලු ක්‍රමවේද භාවිතා කිරීමට බැඳී සිටින අතර අපරාධ සිදු කිරීම සක්‍රීය කිරීමට හෝ එයට පහසුකම් සැලසීමට මාධ්‍යයක් නොවිය යුතුය’ (බස්ටාකි (2024) ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තාවකාලික නියෝග).

ඊශ්‍රායලයේ සැහැසිකම් හෙළා දැකීම විෂයයෙහි ලෝකයේ රටවල් 160 ක් පමණ සාමූහිකව එක පැත්තකට ගොනු වී සිටින විට, කුහක සහ වහල්භාවයට පත් රටවල් අතලොස්සක් පමණක් ජන සංහාරයට සහාය දක්වයි. මෙවන් තත්වයක වත්මන් රජයද කෙසේ හෝ දිරිය උපදවා ගෙන ඊශ්‍රායලය විසින් සිදු කරමින් සිටින ජන සංහාරය කොන්දේසි විරහිතව සහ පැහැදිලිවම හෙළා දැකිය යුතුය. සිදුවෙමින් පවතින දැවැන්ත අපරාධ නොසලකා නින්දිත ලෙසින් සොච්චමක් ආර්ථික වාසි ලැබීම සඳහා බහුතරයක් බෞද්ධයන් වන ලක් තරුණන් ඊශ්‍රායලය පැටවීම වහා නැවැත්විය යුතුය.

(නීතිඥ මාස්.එල්. යුසුෆ් (ගෞරව) ලන්ඩන් – කලක් එක්සත් එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ පුද්ගලික අංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබේ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here