මහජනයා භීතියට පත් කරන ත්‍රස්ත විරෝධී පනත

0
52

නීතිඥ මාස් එල්.යූසුෆ්       

අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යනු එකම කාසියේ පැති දෙකකි. එසේම රජය විසින්ම අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට එය වෙනස් මානයක් ගනු ඇත.

මෙවන් අවස්ථා වලින් පොලිසිය සහ සන්නද්ධ හමුදා ප්‍රතිචාර දැක්විය යුතු නමුත් ප්‍රතික්‍රියා නොදැක්විය යුතුය. එම ආයතනවලින් ප්‍රතිචාරය තිබිය යුත්තේ නීතියෙන් නියම කර ඇති පරිදි සහ නීතියෙන් ඔවුන්ට පවරා ඇති අධිකාරිය ඉක්මවා නොයන ආකාරයෙන් හා නීතියේ රාමුව ඇතුලතය යැයි’ 2023 මැයි 12 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පැවති උත්සවයක් අමතමින් විනිසුරු කෝදාගොඩ මහතා පැවසීය.

බලයේ සිටින අය විසින් නීතියේ හස්තය අවශ්‍ය පරිදි කරකැවීම මගින් සාමාන්‍යයෙන් වැරදි යැයි සැලකෙන ක්‍රියා බොහෝමයක් නිවැරදි ක්‍රියා බවට පත් වේ. පිළිගත නොහැකි දේශපාලන අදහස්වලට මහජනයා විරුද්ධ වන විට සහ යුක්තිය වෙනුවෙන් ඔවුන් හඬ නගන විට ජනතාවගේ කෑගැසීම දේශපාලනඥයන් මැඩපවත්වන සහ පාගා දමන කූඨ ක්‍රමවේදය මෙයයි. මෙවිට දේශපාලනඥයින් නීතියට මුවා වී තමන්ව ආරක්‍ෂා කර ගනිති.

ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවට බලය ඇති එක්සත් රාජධානිය වැනි රටක මෙන් නොව අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවධාරණය කරන්නේ සවෛරී බලය ඇත්තේ මහජනතාවට බවයි. මෙවන් පසුබිමක, ජනතාවගේ ස්වෛරීභාවය, මූලික අයිතිවාසිකම් සහ රජය අතර පවතින නීතිමය සම්බන්ධතාවයේ නම් සංකීර්ණ ජාලය තේරුම් ගැනීම යන කරුණ වනාහි නීතිමය අභියෝගය මතු කරන වෑයමකි.

ආන්දෝලනයට තුඩු දුන් පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) හරය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අරමුණින් සම්පාදනය කරන ලද යෝජිත කෙටුම්පත නම් වන සියුම් ප්‍රෝඩාව ප්‍රශ්න දෙකක් මතු කරයි. එයින් එකක් නම් නීති මගින් පුරවැසියන්ගේ නිදහස සීමා කළ හැක්කේ කුමන විටද සහ කොපමණ දුරකටද?’ යන්නයි. අනෙක නීතියට කීකරු වීම සඳහා වන කෙනෙකුගේ බැඳීමේ ස්වභාවය කෙසේ විය යුතුද?’ යනුයි.

අයිතිවාසිකම්වල පරාසය ගත් කල අවධානය යොමු කළ යුතු ඉසව් දෙකක් එහි තිබෙනු දැකිය හැකිය. පළවැන්න පුද්ගලයෙකුට ශාරීරික හිංසා ඇති කරමින් ඔහුගේ අයිතින් උල්ලංඝනය කිරීම වන අතර දෙවැන්න පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමයි. මේ දෙක එකිනෙකට වෙනස් ඉසව් දෙකක් වුවද තවත් ලෙසකින් ඒවා එකිනෙක හා බැඳී ඇති ඒවාද වේ.

පුද්ගලයෙකුට ශාරීරිකව හිංසා කිරීමේ සිට ඔහුට හෘදය සාක්ෂිය ක්‍රියාත්මක කිරීමට නොහැකි කිරීම දක්වා මෙම උල්ලංඝනය විහිදිය හැකිය. එනමුත් දෙවැන්න හෙවත් පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ශාරීරික හානියක් ඇතුලත් නොවේ. පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමේ ස්වරූපය ගනී. මෙයට නිදසුන් ලෙසින් අදහස් දැක්වීමේ අයිතිය, විරෝධතා දැක්වීමේ අයිතිය, විරුද්ධ මත දැරීමේ අයිතිය, රැස්වීමේ අයිතිය ආදිය සඳහන් කළ හැකිය.

 

සෑම දෙයක්ම සමාන වීම

කෙනෙකුගේ නිදහස සීමා කිරීමට බොහෝ විට යොදා ගන්නා හේතු ලෙසින් ජාතික ආරක්ෂාවට තර්ජන ඇති වීම මහජන සාමයට බාධා ඇති වීම’ ආදිය සඳහන් කළ හැකිය. එය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියෙන්ද අවධාරනය කෙරේ. අනෙකුත් පුද්ගලයින්ට සහ දේපළවලට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා මේවා ඉතා ප්‍රායෝගික නීති බවට සැකයක් නැත. එනමුත් මෙවන් නීතිවලිසියල්ලම සමාන වීමේ *(Ceteris Paribus)*  මුලධර්මය නම් වන ලිඛිත නොවන සදාචාරාත්මක කොන්දේසියක් අන්තර්ගතව ඇත.

රට බංකොලොත්භාවය කර ගෙන යන්නාවු පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය, දේශපාලන අයිතිවාසිකම් රජයක් විසින් ගෙඩිය පිටින් උල්ලංඝනය කිරීම අයිතිවාසිකම් සීමා කිරීමේ ලිඛිත නොවන මෙම තාර්කිකත්වයට අනුකූල නොවේ. වෙනත් ලෙසකින් කියනවා නම් මෙවිටිසියල්ල සමාන නොවේ’ග මෙම තත්වයන් යටතේ, නීත්‍යානුකූල විසම්මුතිය අහිමි කිරීම යනු පුද්ගලයා (අඛණ්ඩතාවය) සහ එම පුද්ගලයාගේ අයිතිවාසිකම් යන දෙකම උල්ලංඝනය කිරීමකි.

මෙම නීතිය අර්ථ නිරූපණය කිරීමෙහිදිිආර්ථික මූලධර්ම ක්‍රියාත්මක කිරීමේදී අනෙකුත් සියලු‍ දේ සමානව පවතිනු ඇතය යන කාරනාව පිළිගෙන අවසන් වු කරුණක් වන හෙයින් ඒ හා සමානව යම් නීතියක විධිවිධානයක් නිසි ලෙස අර්ථ නිරූපණය කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා සියලු‍ම ආයතන ඵලදායී ලෙස සහ නීතියට අනුකූලව ක්‍රියා කරන බවට උපකල්පනය කළ යුතුය’ යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය. (2012 පෙබරවාරි 24 වන දින කේ. බී. නාගුර් එම් ඩී එරෙහිව ඉන්දියානු සංගමය)’

අපගේ පාර්ලිමේන්තුව එවැනි සීමා පැනවීමේදී එසේ කළේ සියල්ල නීතියට අනුකූලව සහ පිළිගත් සම්මත සහ භාවිතයන්ට අනුකූලව ක්‍රියාත්මක වන විට සීමාවන් අදාළ වේ යන උපකල්පනය මත යැයි සිතීම නීත්‍යානුකූල සහ සාමාන්‍ය බුද්ධියට ගැලපෙන දෙයකි. රජය මූලික මෙහෙයුම් උපකල්පන උල්ලංඝනය කර ඇති බවට සැකයක් නැත. දූෂිත දේශපාලනඥයින් සහ ගජ මිතුරන් වන නිලධාරීන් නීතියේ ආධිපත්‍යය අනිසි ලෙස භාවිතා කරන සහ අධිකරණ පද්ධතිය සමච්චලයට ලක් කරන්නන්ව සිටීම පුරවැසියන් කොතෙකුත් ඉවසා සිටිනු ඇතැයි අපේක්ෂා කිරීම අනුවණකමකි.

බලය ඒකාබද්ධ කිරීම

ශ්‍රී ලංකාව තවමත් පාලනය කරනු ලබන්නේ බල තණ්හාවෙන් වියරු වැටුනු, අවස්ථාවාදී, ප්‍රතිපත්ති විරහිත සහ දූෂිත දේශපාලනඥයන් විසින් බව මුළු ලොවම දනී. මෙහි සැබෑ දේශප්‍රේමය සහ දූරදර්ශී රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ අගයන් නොමැති බවද නීරස සත්‍යයකි.

යුරෝපීය සංගමයේ රාජ්‍ය තාන්ත්‍රික තර්ජනය මෙම යථාර්ථය ඉස්මතු කරයි. මෑතකදී ඩේලි FT සමග 2023/05/12 දින පැවති සම්මුඛ සාකච්ඡාවකදී, යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පාඕලා පම්පලෝනි අදහස් දක්වමින් ලක් රජයේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත PTA එහි වර්තමාන ස්වරූපයෙන් බලාත්මක කිරීම යුරෝපා සංගමයේ GSP+ වෙළඳ පහසුකම නැවත ලබා ගැනීමට බාධාවක් විය හැකිය’ යැයි අනතුරු ඇඟවුවාය.

මානව හිමිකම්වල ප්‍රධාන කාර්ය භාරය වන්නේ ඇතැම් අත්‍යවශ්‍ය මානව අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම බව ජගත් ප්‍රඥප්තිවල පැහැදිලිවම අවධාරණය කර ඇත. මානව හිමිකම් සංකල්පයෙහි විශ්වීයත්වය ගොඩනැගී ඇත්තේ මානව යහපැවැත්ම සඳහා වන මූලික හා අත්‍යවශ්‍ය ගුණාංග යැයි සැලකෙන කරුණු කිහිපයක් මතය. (බලන්න: දර්ශනවාදය පිළිබඳ අන්තර්ජාල විශ්වකෝෂය)

සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව රජයේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දකින්නේ මහජන යහපැවැත්ම සඳහා හෝ කුරිරු ත්‍රස්තවාදීන් වෙතින් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා වූ මෙවලමක් ලෙසින් නොව, පැහැදිලිවම, බලය අඛණ්ඩව රඳවා ගැනීමට, ප්‍රජා මර්දනයට පහසුකම් සලසා ගැනීම සඳහා වන දේශපාලන කූඨෝපායන්ට නීත්‍යානුකූලභාවය ලබා දීමේ කූඨෝපායක් ලෙසිනි. එහි ප්‍රතිවිපාකයක් ලෙස, ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදයක් තුල පුරවැසියන් තම නිදහස සහ ස්වාධීනතාවය කප්පාදු වීම අත්විඳිනු ඇත. නීතිඥයින්, විද්වතුන්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්නන් ඇතුලු සිවිල් සමාජ සංවිධාන, ආගමික ආයතන වැනි පුළුල් පරාසයක් පමණක් නොව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවා උක්ත කෙටුම්පත සම්පූර්ණයෙන්ම හෙළා දැක තිබීමෙන්ම මෙය මනාව තහවුරු වේ.
මානව හිමිකම් සංකල්පය යනු විශ්වීය සහ බෙදිය නොහැකි ලෙස පිළිගැනී ඇත. විශ්වීය බව යනු සෑම මිනිසෙකුටම මෙම අයිතිවාසිකම් ව්‍යාප්ත කිරීම සඳහා වන ඇරියුම වන අතර බෙදිය නොහැකි බව වනාහි වැදගත් සුදුසුකමකි.

මානව හිමිකම් සංකල්පයෙහි බෙදිය නොහැකි බව සහ අන්තර් රඳා පැවැත්ම නිරීක්‍ෂණය කිරීමේදී පහත කරුණු නිරීක්‍ෂණය වේ:

ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ඵලදායී ලෙස භුක්ති විඳීමක් නොමැති වන විට, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් හුදෙක් නාම මාත්‍ර කරුණු බවට පත්වේ. එසේම, අදාල පුළුල්ම අර්ථයෙන් වටහා ඇති ඵලදායී නිදහසකින් තොරව හා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වල යථාර්ථය නොමැති වන විට, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම්වලට කිසිදු අව්‍යාජ වැදගත්කමක් තිබෙනු නොමැත’ (හෙක්ටර් ග්‍රෝස් එස්පියෙල් (1986) මානව හිමිකම් පිළිබඳ සුර් ජාත්‍යන්තර සඟරාවේ 32, දෙසැම්බර් 2022 හි උපුටා දක්වා ඇත).

අද රජයට එරෙහිව වීදි බසින්නන් එසේ කරනුයේ දිනකට තුන්වේල කෑම වැනි ඔවුන්ගේ ජීවිතවල මුලික දේ පවා ඔවුන්ට නොලැබෙන නිසාය. මෙම සන්දර්භය තුල හෙවත් බහුතරයක් ජනයා කුසගින්නේ සිටින විට ජාතික ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව පදනම් කරගෙන සීමාවන් පැනවීමේ සදාචාරාත්මක නෛතික අගය කුමක්ද?

ප්‍රතිවිරුද්ධ අයිතීන්

‘සියල්ලම සමාන වීමේ’ තර්කය හැරෙන්නට, තරඟකාරී අයිතිවාසිකම් පරාජය කිරීම මේ රටේ විද්වත් විවාදයට භාජනය වී නොමැති තරම්ය. අයිතිවාසිකම් දෙකක් අතර, වඩා වැදගත් වන අයිතිය අනෙක අභිබැවිය යුතු බව පොදු මතයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය අනුව විරුද්ධ මත දරන්නන්ට සහ කැරලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නට රජයට අයිතියක් ඇති බව සැබවි නමුත්, ජනතාවගේ තරඟකාරී අයිතිය යනුවෙන් අදහස් වන්නේ ඔවුන් කුසගින්නේ සිටීම, ඖෂධ නොමැති වීම, දරුවන් මන්දපෝෂණයෙන් පෙළීම යනාදියයි.

දකුණු අප්‍රිකාවේ මෙන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සමාජ-ආර්ථික අයිතිවාසිකම් ව්‍යවස්ථාපිත කර නොමැත. දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7(2) වගන්තියට අනුව, සමාජ-ආර්ථික අයිතිවාසිකම් පරාසයට ගරු කිරීමට, ආරක්ෂා කිරීමට, ප්‍රවර්ධනය කිරීමට සහ ඉටු කිරීමට රජයට බැඳීමක් ඇත. එනම් එය නීතියේ ආධිපත්‍යය මගින්ම ඉටු කළ යුත්තකි. දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රතිකර්ම විධිවිධාන ඉතා පුළුල් වන අතර එමඟින් රජය තම සමාජ-ආර්ථික බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් එයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගත හැකිය. (දකුණු අප්‍රිකාවේ සමාජ-ආර්ථික අයිතිවාසිකම් අධිකරණමය වශයෙන් බලාත්මක කිරීම (පරිච්ඡේදය 16 කාණ්ඩය 2) [2014] AHTLJ 32.

ශ්‍රී ලංකාවට එහි දේශපාලනඥයන් විසින් මේ තාක් කල් සිදු ඇති කර ඇති ව්‍යසනය සිතා බලන්න. මාරුවෙන් මාරුවට පත් වුනු රජයන් තම සමාජ-ආර්ථික බැඳීම් පමණක් නොව සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහන, සමාජ සුභසාධන බැඳීම්ද ඉටු කිරීමට දැඩි ලෙස අසමත් වී ඇත. එනමුත් රජයේ මෙවන් බැඳීම් කඩකිරීම් අධිකරණමය වශයෙන් අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකාවේ නීතිමය විධිවිධාන නොමැත. එවන් තත්වයක යටත් පිරිසෙයින් ජනතාවට වීදි බැස හෝ මෙම අසමත්වීම්වලට එරෙහිව තම විරුද්ධත්වය, කළකිරීම සහ උදහස ප්‍රකාශ කිරීමට ඇති අයිතියට වැඩකඩුළු දමන්නට වක්‍ර ලෙසින් මාන බලන්නේ නම් එය කෙසේ නම් ඉවසන්නටද?

රජය තම බලතල භාවිතා කර ජනතාවට තම සමාජ-ආර්ථික සහ අනෙකුත් අයිතිවාසිකම් ඉල්ලා හඬ නැගීමට ඇති අයිතිය කිසිසේත් යටපත් නොකළ යුතුය. තරඟකාරී අයිතිවාසිකම්වල ධූරාවලියෙහි, රජයට තම බලය භාවිතා කිරීමට ඇති අයිතිය සහ රජයේ වැරදි ක්‍රියාවලට එරෙහිව විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ඇති අයිතිය ප්‍රමුඛස්ථානය ගනී. ප්‍රජාතන්ත්‍රයක උත්තරීතර සහ ස්වෛරි වන්නේ පුරවැසියා වන අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියේ කොන්දේසි අනුව ඔහුට හිමි සීමා කිසිසේත් ඉක්මවා යා යුතුය.
මහජන විශ්වාසය 2023 මාර්තු 17 වන දින රජයේ ගැසට් පතක් මගින් පත් කරන ලද උක්ත පනත් කෙටුම්පත ඉලක්ක කරන්නේ දැනට පවතින භයානක යැයි වියතුන් විසින් විවේචනය කරනු ලබන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිස්ථාපනය කිරීමටයි. එවකට සිටි දේශපාලනඥයන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 පනවන ලද්දේ උදක්මිතාවකාලික’ විධිවිධානයක් ලෙසින් වන අතර දැනට රට පාලනය කරන රංචුව ගත් කල කූඨ බවින් ඔවුන්ට වඩා මොවුන් කොහෙත්ම අඩු නැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික යැයි කීවද එය පරම්පරාවක කාලයකටම පැවතුනි. මදැයිිතාවකාලික’ වුනා?

දැනටමත් සංකීර්ණ වී ඇති මෙම තත්වය තුල, යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතෙන් අපේක්ෂා කළ හැක්කේ ජනතා මර්දනය, බිය ගැන්වීම, බලයේ සිටින්නන් දණ්ඩ විමුක්තිය ලැබීම, නිලධාරිවාදය සීමාව ඉක්මවා යාම සහ ව්‍යවස්ථානුකූලව මුල් බැසගත් සහ විශ්වීය වශයෙන් සහතික කර ඇති පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ආදිය මිස අන් කිසිවක් නැත.

දේශීය පුවත්පත්වල වාර්තා කර ඇති පරිදි, එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් අට දෙනෙකු සහ තවත් ක්‍රියාකාරී කණ්ඩායම් දෙකක් ශ්‍රී ලංකා රජයට ලිපියක් යවමින් රටේ යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් ඡේද පිළිබඳව ඔවුන්ගේ කණස්සල්ල පළ කරමින්ිත්‍රස්ත විරෝධී නීති සම්පාදනය ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී මෙවලම්වල විධිවිධාන මත පදනම්ව නිසි ලෙස හා නිශ්චිතව අර්ථ දක්වා ඇති සහ නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාවය සහ සමානුපාතිකත්වය යන මූලධර්ම මගින් දැඩි ලෙස මෙහෙයවනු ලබන අපරාධකාරී හැසිරීමට සීමා වන බවට රජය සහතික විය යුතුය’ යැයි ඔවුන් පෙන්වා දෙති.

මෙම මතභේදාත්මක ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට ඇති අඛණ්ඩ මහජන විරෝධය සහ ජාත්‍යන්තර අප්‍රසාදය ආදිය නිසා එම කෙටුම්පත සභා ගැබෙන් ඉල්ලා අස්කර ගැනීමට අධිකරණ අමාත්‍යවරයාට සිදුවිය.

 

මේ සියල්ලෙන්ම ගම්‍ය වන මූලික කාරණය නම් මහජනතාව තවදුරටත් මෙම දේශපාලනඥයන්ව තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්නට සුදානම් නැති බවයි. මේ අනුව, ඔවුන් වෙතින් එන පොරොන්දු සහ අණ පනත් -ඒවා කුමන වේෂයකින් පැමිණියද- විෂයයෙහි මිනිසුන්ට ඇත්තේ විශාල බියකි හා සැකයකි. ඒවා නිසැකයෙන්ම මෙම දේශපාලුවන් මැරෙන තෙක් බලයේ රැඳී සිටීමට එළියට දමන මගඩි බව ඔවුන් අත්දැකීමෙන්ම දනිති. ඒවා දැන් මිනිසුන්ට එපාම වෙලාය.

රටට හොඳක් කිරීමේ අවංක ඕනෑකම රජයට තිබේ නම් කළ යුත්තේ මෙම සියලු ගම්පෙරළි නවතා දමා යෝජිත ත්‍රස්ත විරෝධී පනත හකුලා ගෙන පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් අහෝසි කර දණ්ඩ නීති සංග්‍රහය, මහජන ආරක්‍ෂක විධිවිධානය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, අපරාධ නීති සංග්‍රහය ආදියට ත්‍රස්ත ක්‍රියාවලට නිසි අඬුවම් දීමේ ප්‍රතිපාදන සහිතව නව සංශෝධන ගෙන ඒමය.