NEWSNOW | – චුදිත යුද අපරාධකරුවන්ට රතු පලස් සැලකිලි ලැබෙන විට සහ යුක්තියේ ආයතනවල නිර්දේශ නෙසලකා හරිනු ලබන විට, සදාචාරාත්මක නායකත්වයේ මායාව බිඳ වැටෙනු වැළැක්විය නොහැකිය.
අප වාසය කරන්නේ දරුණු යුද්ධ අපරාධ සඳහා අධිකරණයකට අවශ්‍යව සිටින මිනිසෙකු බටහිර රටවල අගනගරවල රාජ්‍ය තාන්ත්‍රික ගෞරව ලබමින් සිටින නරුම ලොවකය. යුක්තිය පසිඳලීමේ උත්තරීතර ආයතනවලට එහි නිර්මාතෘවරුන්ම පයින් ගසන්නේ නම් මෙම අවනඩුව කාට කියම්ද?
අප මේ කතා කරන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට හංගේරියානු නායකයින් රතු පලස් දිග හැර ලබා දුන් ගෞරවය’ ගැනය.
යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වන හංගේරියාව, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සිට සාමාජිකත්වයෙන් ඉවත් වන බව කඩිමුඩියේ නිවේදනය කර ඇත. එම රට මෙම තීරණය ගෙන ඇත්තේ නිල සංචාරයක් සඳහා බුඩාපෙස්ට් නගරයට නෙතන්යාහු පැමිණ සිටින හෙයිනි. මෙවන් තත්වයක එම සාමාජිකත්වයෙන් ඉවත් නොවුනොත් නෙතන්යාහුව අත්අඩංගුවට ගැනීමේ වගකීම හංගේරියාවට ඇති වනු ඇත. දැන් එම ගැටළුව විසඳිලාය. ඒ අනුව සමුළඝාතක නෙතන්යාහුට එම රටේ නිදහසේ සැරිය හැකිය. මෙය වනාහි යම් පෙදෙසකට මිනීමරුවෙකුව ගෙන්වා ගරුබුහුමන් දැක්වීමට අවශ්‍ය හෙයින් එම පෙදෙසේ තිබුනු පොලිසිය වසා දැමීම වැනි විහිළුවකි.
ගාසාවෙහි ඝාතනය වු අහිංසකයන්ගේ රුධිරයෙන් නැහැවී සිටින නෙතන්යාහු වැනි මරුවෙකු හංගේරියාවට නිල සංචාරයක් සඳහා පැමිණ සිටින තත්වයක එරට සිටින යුරෝපා සංගමයේ නිලධාරීන් ඇතුලු කිසිදු පුද්ගලයෙකු මෙයට විරෝධතාවයක් පළ කළ බවක් නොපෙනේ. එරට මාධ්‍යයද නිහඬය. පාලන පක්‍ෂය කරන සෑම කාරියක්ම විාව්චනයට ලක් කරන විරුද්ධ පක්‍ෂයද සිටින්නේ බකං නිලාගෙනය. මේ සැම බලන විට හංගේරියාව යනු අමුනෂ්‍යයන් පමණක් සිටින දේශයක්දෝය යැයි අපට සිතේ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නිර්මාතෘ සාමාජිකයෙකු වන ජර්මනියද පවසා ඇත්තේ නෙතන්යාහු ජර්මනියට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට නොගන්නා බවයි. නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් ගැන කට කැඩෙන්නට දේශනා කරන ජර්මනිය, ඊශ්‍රායලය අපරාධවලට වපර ඇසක් පෙන්වීමට සුදානම් වී සිටිම මගින් ජර්මනියද ඊශ්‍රායලයේ අපරාධවලට සහචරයෙකු බවට පත්ව ඇත.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊනියා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත වැනි ජාත්‍යන්තර නීතිය නගා සිටුවීම තම වගකීම යැයි කියා ගන්නා ආයතන සහ සංවිධාන ස්ථාපිත කළවුන් අතර බහුතරයක්ම සිටින්නේ යුරෝපීය නායකයන් වීම මෙහි ඇති දැවැන්ත විශ්මයයි.
මෙවන් වාතාවරණයක මෙම ආයතන කවදා හෝ අයුක්තියකට එරෙහිව හඬ නගා තිබේද? නැතහොත් ඒවා නිර්මාණය කර ඇත්තේ බටහිර ආධිපත්‍යය ශක්තිමත් කිරීමට සහ ඇතැම් රටවල් විෂයයෙහි පමණක් පක්‍ෂග්‍රාහීව කටයුතු කරන්නටද යන සැකය කාටත් ඇති වීම සාධාරණය.
උදාහරණයකට අප්‍රිකාවේ, මැද පෙරදිග සහ බෝල්කන් කලාපයේ නායකයින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පැවරු නඩු විෂයයෙහි ගත යුතු පියවර යුරෝපා සහ බටහිර රටවල නායකයින් අකුරටම සහ නොපමාව ගත්හ. එනමුත් ඊශ්‍රායලය වැනි ඔවුන්ගේ ගජමිතුරන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය එජා සංවිධානය වැනි ජගත් සංවිධාන තීන්දු තීරණ සිය ගණන් ප්‍රකාශයට පත් කළද එය තඹ දොයිතුවකට මායිම් කරනු නොැලැබේ.
යුරෝපා සහ බටහිර රටවල දෙබිඩි පිළිවෙත මෙසේ කැපී පෙනෙන නමුත් එය වසන් කිරීමටවත් වෑයම් නොකරන තරමට ඔවුන්ගේ හදවත් දරදඬු වී ගොසිනි. පලස්තීනයේ ළමුන් බිළිඳන් ගැහැණුන් ඇතුලු සිවිල් වැසියන් බුරුතු පිටින් හා සිතැගි පරිදි මරා දැමීමට ඊශ්‍රායලයට හැක. එමුත් දශක ගණනක මර්ධනයට එරෙහිව ගලක් මුගුරක් ඔසවන පලස්තීන තරුණයා එම රටවලට දරුණු ත්‍රස්තවාදියෙකි. ත්‍රස්තාවාදි බෙදුම්වාදී කල්ලියකට එරෙහිව කටයුතු කරන ලාංකික සෙබලා යුධ අපරාධ කරුවෙකි. ආක්‍රමණයට එහෙිව සටන් කර ඇෆ්ගන් මිනිසා ත්‍රස්තයෙකි. එවැන්නන්ව අල්ලා වද කඳවුරුවලට ගෙන ගොස් වසර ගණන් සිර ගත කර නිය පොතු ගලවා සුනඛයන් ලවා සප්පවා දස වද දෙනු ලැබේ. මෙය ජාත්‍යන්තර නීතිය පාවාදීමක් පමණක් නොව බටහිර නියෝජනය කරන බව කියා සිටින පරමාදර්ශය පවා පාවාදීමකි. ඇත්තෙන්ම අප සිටින්නේ ශිෂ්ඨසම්පන්න ලොවකද?
කාන්තාවක් වන යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානි පසුගිය දිනෙක ඊශ්‍රායලයට ගිය අතර, එහිදී ඇය ඊශ්‍රායලය යනු සංගමයේ ඉතා හොඳ හවුල්කරුවෙකු’ යැයි ප්‍රශංසා කළාය.
හොඳ හවුල්රුවෙකු, වුයේ කුමටද? යුද අපරාධ සිදු කිරීමෙහිද? වාර්ගික යුද්ධයක් කිරීමෙන්ද? ජාත්‍යන්තර නීතිය නොසලකා හැරීමෙන්ද?
මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව පවසන යුරෝපා සංගමය, සමස්ත ජාතියක්ම මුලිනුපුටා දැමීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින ඊශ්‍රායලය වැනි ම්ලේච්ඡ රජයක් කිසිදු හිරියක් නොමැතිව සෙනෙහසින් වැළඳ ගන්නේ කෙසේදැයි සැබවින්ම ශිෂ්ඨ අපට නම් නොතේරේ.
මෙය බටහිර රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ අසාර්ථකත්වයක් පමණක් නොව, බොරු මත ගොඩනගා ඇති පද්ධතියක නිරාවරණය වීමකි. බටහිර නායකයන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ලෝකයට දේශන පැවැත්වීමට ගජ හපන්නුය. එනමුත් අද අප දකින දෙයින් ඔප්පු වන්නේ මෙම අගයන් අදාළ වන්නේ බටහිර වාසිය සඳහා ඒවා ක්‍රියාත්මක වන විට පමණක් බවයි.
මේ අතර ගාසා තීරයේ ජන සංහාරයට එරෙහිව විරෝධතා දැක්වීමට එඩිතර වන ඇමරිකානු සිසුන් අත්අඩංගුවට ගෙන, නිහඬ කර, ඔවුන්ව දුෂ්ටයන් ලෙස ලොවට පෙන්වනු ලැබේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ සහ විවේචනාත්මක චින්තනයේ බලකොටු ලෙස කලක් සාඩම්බර වූ විශ්ව විද්‍යාල, දැන් රජය සමඟ අත්වැල් බැඳගෙන හෘද සාක්ෂියේ හඬ මර්දනය කිරීමට කටයුතු කරමින් සිටියි.
පලස්තීනුවන්ට යුක්තිය ඉල්ලා සිටීම සහය දීම මර්දනය කිරීම මගින් ලබා දෙන පණිවිඩය පැහැදිලිය. එනම් නෙතන්යාහු වැනි යුද අපරාධකරුවන්ට සහාය දීම පිළිගත හැකි නමුත් ජන සංහාරයට එරෙහිව නැගී සිටීම දඬුවම් ලැබිය හැකි වරදකි.
මෙය අලුත් දෙයක් නොවේ. බටහිර බලවතුන් දිගු කලක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ආයුධයක් ලෙස මෙන්ම ඔවුන්ගේ මැදිහත්වීම් සහ ආර්ථික සූරාකෑම සාධාරණීකරණය කිරීම සඳහා මෙවලමක් ලෙස මේවා භාවිතා කරති.
නමුත් අද අප දකින දෙය කවරදාටත් වඩා පැහැදිලිය. වෙස් මුහුණු ගැලවී ගොස් ඇත. ඊනියා ලිබරල් ලෝක පිළිවෙතේ සැබෑ මුහුණ නිරාවරණය වී ඇත. ලිබරල් ලෝක පිළිවෙත යනු සීමිත යුක්තිය, කුහකකම සහ නිමක් නැති යුද්ධ මත ගොඩනගා ඇති වංචනික සංකල්පයක් බව දැන් ලොවට වැටහී ඇත. තවද අද අප දකින්නේ අන් කිසිවක් නොව කිසිදා සැබවින්ම අතුරුදහන් නොවූ යටත් විජිත මානසිකත්වයක අඛණ්ඩ පැවැත්මකි.
බටහිර රටවල දියුණුවට මිල ගෙවමින් සිටින්නේ සුද්ද්න් නොවන ජාතිකයන්ය. භාෂාව වෙනස් වී ඇත, නමුත් ක්‍රියාවල වෙනසක් සිදු වී නැත.
සියවස් ගණනාවකට පෙර ලොව ශිෂ්ටසම්පන්න කරන’ බව පවසමින් යුරෝපීය අධිරාජ්‍යයන් ඔවුන්ගේ දියුණුව සාධාරණීකරණය කළහ. අද, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන’ බව පවසමින් තම ක්‍රියා සාධාරණීකරණය කරමින් සිටිති. ඔවුන් කරන සියලු කුරිරු ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදය’ වන අතර එයට එරෙහිව පීඩිතයන් කරන විරෝධතා ‘ත්‍රස්තවාදය’ නම් වේ.
පලස්තීනයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය වේවා, අප්‍රිකාවේ ප්‍රංශ අධිරාජ්‍යවාදය වේවා, මැද පෙරදිග ඇමරිකානු යුද්ධ වේවා, ඉලක්කය සැමවිටම එක හා සමානයි – පාලනය, සූරාකෑම සහ ප්‍රතිරෝධය මර්දනය කිරීම.
නූතන ලෝකයේ අවසාන යටත් විජිත ව්‍යාපෘතිය වන්නේ ඊශ්‍රායලයයි. මෙවර යුදෙව්වන් අසල්වැසි රටවල් හුදුවේ යටත් විජිත බවට පත් නොකර එහි තම වරිගයාගේ වාසස්ථාන නීති විරෝධි ලෙස බිහි කරමින් නියම භූමි පුත්‍රයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් සිටිති. ඊශ්‍රායලය විසින් මැද පෙරදිග සිදු කරන මෙම නොසණ්ඩාලකම්වලට බටහිර රටවල පුර්ණ අනුග්‍රහය එජා සංවිධානය වැනි ජගත් ආයතනවල අත්සන් හරහාම සිදු කරනු ලැබේ.
මේ ඇයි?
ඒ බටහිර රටවල අණසක මැද පෙරදිග කලාපයේ පවත්වාගෙන යාමට ඊශ්‍රායලය යනු ඔවුනට කදිම මෙවලමක් වන හෙයිනි. එම කලාපයේ ඊශ්‍රායලය වැනි පිළිකාවක් නැති නම් එහි රටවල සාමයෙන් තමන්ව සමෘධිමත් කර ගනු ඇති හෙයිනි. ඊශ්‍රායලය එහි සමුළඝාතන සිදු කරන විට පවා බටහිර රටවල් සහ ඔවුන්ගේ ඊනියා මානව හිමිකම් සංවිධාන අහක බලා ගෙන සිටින්නේ එහෙයිනි. ඒ අනුව ඊශ්‍රායලය යනු බටහිර රටවලට සම්පත් පිරි මැද පෙරදිග ඇති හමුදා මුරපොලක් වැනිය. පලස්තීන ජනයා ස්වාධීන රටක් පිහිටුවා ගැනීම මැඩපැවැත්වීම එහි ප්‍රධාන කාර්්‍ය භාරයයි. ඒ අනුව ලොව අනෙකුත් ජාතීන්ට අදාළ වන නීති ඉශ්‍රායේලයට අදාළ වන්නේ නැත. මැදපෙරදිග දරුණු අපරාධ සිදු කරන නෙතන්යාහු වැන්නන් යුරෝපා සහ බටහිර රටවල නිදහසේ සැරිසරන්නේ සහ එවැනි මිලේච්ඡ මිනිමරුවන්ට එම රටවල රතු පළස් එලන්නේද එනිසාය.
පලස්තීන ව්‍යහසනය වසර හැත්තෑ පහක්ම බටහිර සහ යුරෝපා රටවල් පවත්වා ගෙන පැමිණ ඇති නමුත් මෙවන් දැවැන්ත බොරුවක්, අපරාධයක්, අනීතියක් සැමදා පවත්වා ගෙන යාමට නොහැක. දැන් එය නිමා කිරීමට කාලයයි. මෙම අපරාධයට විරුද්ධව දැන් බටහිර සහ යුරෝපා රටවල ජනයා පවා නැගිටිමින් සිටිති. මන්ද එම රටවල පාලකයන්ගේ කුහක කම තවදුරටත් නොසලකා සිටීමට නොහැකි තරමට දරුණු හා අමානුෂික වෙමින් තිබෙන හෙයිනි. මේ තත්වය සඳහා ස්තූති කළ යුත්තේ සමාජ මාධ්‍ය තාක්‍ෂණයේ දියුණුවටය. මෙය නිසා කඳෙන් හිස වෙන් වුනු සහ අත පය සුනුවිසුනු වුනු පලස්තීන බිළිඳන්ගේ දසුන් තවදුරටත් වසන් කළ නොහැකි වී ඇත.
වර්ණභේදවාදයට සහාය දෙන අතරම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බටහිර යුරෝපා රටවලට පෙනී සිටිය නොහැකිය. ජන සංහාරයට අවි සපයන අතරම මානව හිමිකම් දේශනා කළ නොහැකිය. යුද අපරාධකරුවන්ට නිදහසේ ඇවිදීමට ඉඩ දෙන අතරම නීතියේ ආධිපත්‍යය ගැන කතා කළ නොහැකිය.
මෙවන් තත්වයක ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් සංරක්‍ෂණයේ මුරදේවතාවුන් යැයි බටහිර සහ යුරෝපා රටවලට කොතෙකුත් තමන්ගේ පපුවට තට්ටු කරගන්නට නොහැකිය. ඒසේ ඉතිං කීවොත් මුළු ලොවම ඔවුන් දෙස බලා කොක්හඬලා සිනාසෙනු ඇත.