ඔහු අපූරු මිනිසෙක්…මානව හිතවාදියෙක් – සමන් සෙනෙවිරත්න මහතා කියයි

0
92

NEWSNOW | – අභාවප්‍රාප්ත වූ අබ්දුල්ලා ආලීම් මවුලවිතුමා මා හඳුනාගත්තේ පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ රැසිවීම් වලදීය. ඒ සඳහා මඟ පෑදුවේ එවකට ජාතික සාම මණඩලයේ වැඩසටහන් විධායිකා ලෙස කටයුතු කළ රෙජිනා රාමලිංගම් මහත්මියයි. අබ්දුල්ලා ආලීම් මවුලවිතුමා සමස්ථ සමාජය දෙස බැලුවේ එකම සහෝදර කැලක් දෙස බලන කරුණාබර බැල්මකිනි. මට එතුමා සිහිවන, ප්‍රධාන සිදුවීමක් තිබේ. මීට වසර 6කට පෙර එනම් 2019 දී අපි නැගෙනහිර පළාතේ චාරිකාවකට රටේ විවිධ පළාත් වලින් සර්’ව ආගමික නායකයින් කණ්ඩායමක් කැඳවාගෙන ගියෙමු. ඒ පාස්කු ප්‍රහාරය සිදුවී මාස 2ක් පමණ ඉක්ම වූ පසුය.

මෙම කණ්ඩායම අතර බහුතරය වූවේ රටේ විවිධ ප්‍රදේශවලින් සහභාගිවූ ස්වාමීන් වහන්සේලාය. මෙම කණ්ඩායම තුළ අබුදුල්ලා අලීම් මවුලවිතුමාද විය. නැගෙනහිර ප්‍රදේශයේ විවිධ ගම්මානවල සංචාරය කළ මෙම කණ්ඩායම කාත්තන්කුඩි ගම්මානයට ගියේ සර්’ව ආගමික සමුළුවක් පැවැත්වීමටයි. මෙය කාත්තන්කුඩිහි පැවැති පළමු සර්’ව ආගමික සමුළුව වන අතර විශේෂත්වය වූවේ පාස්කු ප්‍රහාරය සිදුවී මාස දෙකකට පසු මෙය පැවැත්වීමයි. එවකට මම මෙම ව්‍යාපෘතියේ කළමණාකරු ලෙස කටයුතු කෙළෙමි. අපි සමඟ මෙම වැඩසටහනට ජයතිලක බණ්ඩාර කලාකරුවානන් ද සහභාගිවූවේ සමුළුව අවසානයේ සාම ගීත ප්‍රසංගයක් පැවැත්වීමටය. මෙම සමුළුව පැවැත්වූ ස්ථානයට නුදුරින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුගේ පුහුණු මධ්‍යස්ථානය ද පැවතියේය.

සමුළුව ආරම්භ කිරීමට මොහොතකට පෙර කණ්ඩායමක් පැමිණ ගීත ගයනා නොකරන මෙන් අපෙන් ඉල්ලා සිටියේය. කාත්තන්කුඩි ප්‍රදේශයේ සංගීත ප්‍රසංග පැවැත්වීම තහනම් යැයි ඔවුහු අප සමඟ පැවසූහ. මේ නිසා වැඩහටහන මෙහෙයවන මා අසීරුතාවයකට පත් විය. අපි සමග පැමිණි සෙසු අය තුෂ්නිම්භූත වී බලා සිටියේ වැඩසටහන අතරමඟ නවතා දැමීමට සිදුවේදෝයි යන බිය සහිතවය. මා අබ්දුල්ලා අලීම් මවුලවිතුමා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමේ අභිලාෂයෙනි. අවසානයේදී එතුමාගේ සාධනීය මැදිහත් වීමත් කාත්තන්කුඩි ජමියතුල් උලමා සභාවේ මැදිහත්වීමත් නිසා සැලසුම් කළ පරිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපිට හැකි විය. මේ නිසා දෙපාර්’ශවය අතර හොඳහිත වර්’ධනය විය.

මෙම සටහන එතුමාට උපහාර පිණිස ලියමි.
සමන් සෙනෙවිරත්න
වැඩසටහන් අධ්‍යක්ෂ,
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවකාශය ආයතනය