සමාජයේ කාන්තාවන්ට නිසි තැන ලැබීම වෙනුවෙන් කාන්තාවන්ගේ සිනමාත්මක හඬ අවදි කරන ELEVATE

0
38

NEWSNOW | – රටක ජීවනාලිය රඳා පවතින්නේ තාරුණ්‍යය මතයි. තාරුණ්‍යයයේ ශක්‍යතාවයෙන් හා නිපුණතාවයෙන් පිරිපුන් තරුණ පිරිසක් බවට පත්කිරීමේ වැදගත්කම තීරණය කරන තීරණාත්මක සාධකයක් වී ඇත්තේ ඔවුන්ට ලබා දෙන දැනුම හා අවස්ථා යි. මේ ආකාරයේ නිර්’මාණශීලී තාරුණ්‍ය සොයා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස කෙටි චිත්‍රපට නිර්’මාණකරණයේ නියලෙන හා අනාගත අධ්‍යක්ෂකවරියන් වීමට බලාපොරොත්තුවන විශ්වවිද්‍යාල සිසුවියන් 50දෙනෙකු සඳහා ELEVATE ජංගම දුරකතනය හරහා කෙටි චිත්‍රපට නිර්’මාණය කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී. මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවය පිළිබද කේන්ද්‍රය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මේ සඳහා සම්බන්ධ වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට ඔවුන් කාන්තාවන් වශයෙන් මුහුණ දෙන ගැටළු පිළිබඳව හඬ නැගීමට අවස්ථාව ලබා දුන් අතර එම අත්දැකීම් පාදක කර ගනිමින් කෙටි චිත්‍රපට නිර්’මාණය කිරීමට ඔවුන්ව දිරිගන්වන ලදී.

වැඩසටහන තුළදී මතුවූ ප්‍රධානතම කරුණක් වූයේ ඔවුන් කාන්තාවන් වීම හේතු කරගෙන සමාජයේදී ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දීමයි. “අපේ විශ්වවිද්‍යාලේ බහුලවම ඉන්නේ ගෑණු ළමයි. සංගමයක, වැඩසටහනක, මූලිකත්වය අරන් කටයුතු කරන්න අපිට කවදාවත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ.. ඒ තැන්වල අපේ ගැටළු ගැන කතා කරන්නවත් කාන්තා නියෝජනයකට අවස්ථාවක් නැහැ. අපේ වයස්වලම කට්ටිය පවා හිතාගෙන ඉන්නේ ගෑනු ළමයින්ට නායකත්ව ගුණාංග නැහැ කියලා. එයාලට අභියෝග බාරගන්න බැහැ කියලා. පළවෙනි වතාවට කෙටි චිත්‍රපටියක් නිර්මාණය කරනවා කියන අභියෝගය මං භාරගත්තේ ඒක එහෙම නෑ කියල ඔප්පු කරන්න.“ මේ ආකාරයෙන් ඇයගේ අදහස් අප හා බෙදා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හර්’ෂි හේමචන්ද්‍ර විසිනි. ඇය හා අනුත්තරා නවාංජලී එක්ව නිර්’මාණය කරන ලද “Virgine“ කෙටි චිත්‍රපටය හරහා විශ්ව විද්‍යාල වල කලා අංශයෙන් උපාධිය හදාරන ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පිළිබඳ ඇති මිත්‍යාවෙන් දුරු කිරීමට උත්සහ කර ඇත.

මෙම වැඩසටහන සමඟින් එක්වූ කැළණිය විශ්වවිද්‍යාලයේ විහංගි තෙන්නකෝන් සඳහන් කලේ ඔවුන් විශ්වවිද්‍යාලය අවට වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ගැනීමට යාමේදී මුහුණ පාන ගැටලුවක් පිළිබඳවයි. “අපි මෙඩිකල් සෙන්ටර් එකකට බෙහෙත් ගන්න ගියාම බඩේ අමාරුවක් කිව්වොත්, කලන්තෙ කිව්වොත් අනිවාර්’යෙන්ම pregnancy test එකක් කරන්න කියනවා. ඒ වගේ දෙයක් නෙමෙයික සාමාන්‍ය අසනීපයක් කියලා කිව්වොත් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඒත් පිරිමි ළමයින්ට එහෙම නෙමෙයි. වෙලාවකට හිතෙනවා මේ හැම දෙයක්ම අපි ගෑණු ළමයි වීම නිසාද කියල. මේ ගැන අහන්න, කියන්න කෙනෙකුත් නැහැ. කිව්ව කියල වෙනසක් වෙන්නෙ නැහැ. ඒක නිසයි අපේ කෙටි චිත්‍රපටියෙන් අපි ඒ ගැන කතා කරන්න තීරණය කළේ.“ ඔවුන් නිර්’මාණය කළ Pain Killer කෙටි චිත්‍රපටය හරහා සාකච්ඡාවට බඳුන් ක‍ර ඇත්තේ මෙම ගැටළුව පිළිබඳවයි.

විශ්ව විද්‍යාලය තුළ සිසුවියකට සමාන අයිතිවාසිකම් හා සමාන පහසුකම් ලැබීම කාලීන හා වැදගත් අවශ්‍යතාවයක් බව කෙටි චිත්‍රපට නිර්’මාණය කිරීමේ වැඩසටහන පුරාවට වරින් වර සිසුවියන් සඳහන් කළ කරුණකි. අධ්‍යාපනය ලබන කාලසීමාවේ නිදහස් හා ස්වාධීන මානසික තත්ත්වයක් යටතේ ඔවුනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය පමණක් නොව සමස්ත සමාජයම කටයුතු කළ යුතු බවුන් මෙහිදී අනාවරණය කළහ.

වැඩසටහන අවසානයේ නිර්’මාණය කරන ලද කෙටි චිත්‍රපට විසිපහක් ඔස්සේ සමාජය තුළ කතාබහට ලක් විය යුතු මෙවන් මාතෘකා පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට අධ්‍යක්ෂකවරියන් නිර්’මාණාත්මක ප්‍රවේශයක් ගත් අතර ඔවුන්ගේ කෙටි චිත්‍රපට විශ්වවිද්‍යාල දොළහක ප්‍රදර්’ශනය කිරීම හරහා මෙවන් ගැටලු වලට ගත හැකි ප්‍රතිපත්තිමය වෙනස පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීම වැඩසටහනේ ඉදිරි දැක්මයි.

රන්දි උෂාරා