දරුවන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය

0
76

NEWSNOW | – මේ දිනවල දරුවන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හොටු දියර ගැලීම හෝ නාසය හිරවීම, මස්පිඩුවල හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම සහ උගුර වණ වීම වැනි රෝග ලක්ෂණ වන බවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂ්ක විජයවර්’ධන මහතා පැවසුවේ මෙය සෘතුමය රෝගයක් බවත් සති කිහිපයකට පෙර, මෙම රෝගීන්ගේ වැඩිවීමක් දුටු බවයි. නමුත් දැන් සංඛ්‍යා පහත වැටීමට පටන් ගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍ය මහේෂ්ක විජයවර්’ධන මහතා කියා සිටියේය.

කෙසේවෙතත්, ඔහු ප්‍රකාශ කළේ මුව ආවරණ පැළඳීම, නිතිපතා අත් සේදීම සහ හොඳ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම වැනි ක්‍රියාමාර්ග රෝගය වළක්වා ගැනීමට බොහෝ දුරට ඉවහල්වන බවයි.

“පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය පැතිරීමේ ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ නිසා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන ලෙසත්, යම් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින ලෙසත් මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා,” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, කොළඹ රිජ්වේ ආර්’යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෙවැනිම උණ රෝගයක් පැතිර යන බවයි.