හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරයි

0
25
NEWSNOW| –  හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, පසුගිය වසරේ ආර්ථිකයේ පැවැති තත්ත්වයන් හමුවේ රට ආර්ථික වශයෙන් විවිධ බලපෑම්වලට ලක්වූ බවත් බංකොලොත් බවට පත් වූ පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව රටේ ආර්ථිකය ගොඩ නැංවීමට කැප වී ක්‍රියාකිරීමට තමාට හැකි වූ බවයි.
රට හා ආර්ථිකය ස්ථාවර වූ විට එහි ප්‍රතිලාභ ජනතාවට හිමි වනු ඇති නිසා ජනතාව විසින් එය අවබෝධ කර ගැනීමට සමත්වනු ඇතැයි තමා විශ්වාස කළ බවත් ඔහු එහි සඳහන් කර තිබේ.
නමුත් රටක් ලෙස සිදුකළ කැපකිරීම් සහ ලද ජයග්‍රහණයන් සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් නොතිබුණු බව තමා විශ්වාස කළ බවත් එය මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළ බවත් ඔහු එම ලිපිය මගින් සඳහන් කර ඇත.
මේ හේතුවෙන් පසුගිය රජය විසින් මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති ගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව තමන් කලකිරීමට පත්වූ බැවින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළ බවත් හිටපු රාජ්‍ය ඇමතිවරයා එම ලිපිය මගින් දන්වා තිබේ.