ලක්‍ෂ 20 කට වැඩි වටිනාකමින් යුතු විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

0
56
NEWSNOW | – රුපියල් විසි ලක්ෂ හැට දහස් හයසිය තිස් හයක් වටිනා විද්‍යුත් දුම්වැටි 1,105 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ද සමග 10/05 දින ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයෙකි.
මොහු පසුගිය 05වනදා අලුයම 01.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විද්‍යුත් දුම්වැටි තොගය සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන විත් තිබූ විද්‍යුත් දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇති අතර , එහිදී සිදු කළ විධිමත් රේගු පරීක්ෂණයේ දී , මෙම විද්‍යුත් දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.