NEWSNOW | – නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයේ අද (23) පෙරවරුවේ දිවුරුම්දීමෙන් පසු මහනුවර නගරයට පැමිණියේය.
ජනාධිපතිවරයා දළඳා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණි අතර එහිදී එහි සිටි සැදැහැවතුන්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
පසුව ජනාධිපතිවරයා දළදා සමිඳුන් වන්දනා කොට ආශිර්වාද ලබාගත්තේය.
ජනාධිපතිවරයා දළදා මාළිගාවේ අමුත්තන්ගේ සටහන් පොතේ විශේෂ සමරු සටහනක් තැබුවේය.
ජනාධිපතිවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමග සුහද කතාබහක ද නිරත විය.
දළදා සමිඳුන් වැඳපුදා ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
මේ අතර ජනාධිපතිවරයා මහනුවර පුල්ලෙයාර් කෝවිලට පැමිණ හින්දු ආගමික ආශිර්වාදය ලබාගත්තේය.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා කොළඹ දවටගහ මුස්ලිම් දේවස්ථානයට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.