NEWSNOW| – 2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා “පැෆරල්” සංවිධානය සමඟ කටයුතු කරන නිරීක්ෂකයින් සඳහා තවත් වැඩමුළුවක් අද (16) හලාවත ක්‍රිස්තියානි සේවා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
නීතීඥ දිනේෂ් පෙරේරා සහ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන තරිඳු පියුමාල් යන මහත්වරු මෙම සැසිවාරයට සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.
පැෆරල් සංවිධානයේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරී එම්.සී.එම්.රුමයිස් මහතා ද සහභාගී වූ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ පහේම නිරීක්ෂණ කටයුතුවල නිරත වීමට නියමිත නිරීක්ෂකයින් විසිදෙනාම ඊට සහභාගී වී සිටියහ.
මෙම රැස්වීමේ ප්‍රධාන සම්පත් දායකයා ලෙස සහභාගී වූ නීතීඥ දිනේෂ් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය තහවුරු කිරීම සඳහා පැෆරල් සංවිධානය පසුගිය වසර 35ක කාලය තුළ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නියැලෙමින් සිදු කරන වැඩපිළිවෙල සවිස්තරාත්මකව පැහැදිලි කළ අතර ප්‍රධාන ජාතික සංවිධාන දෙකක් වන සර්වෝදය සංවිධානය සහ ජාතික සෙඩෙක් ආයතනය මෙහිලා ඉටු කළ ස්වේච්ඡා සේවය පිළිබඳවද පැහැදිලි කළේය.
මෙම පුහුණුව සඳහා සහභාගී වූ මැතිවරණ නිරීක්ෂකයින්ගේ රාජකාරි හා වගකීම් පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළ පෙරේරා මහතා , එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා තාක්ෂණික පුහුණුවක් සහ මග පෙන්වීම ලබා දුන්නේය.
ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, නාත්තන්ඩිය, ආණමඩුව, වෙන්නප්පුව, පුත්තලම ඇතුළු මැතිවරණ කොට්ඨාශ 5ම නිරීක්ෂකයින් මෙම ජාතික කාර්ය භාර්ය වගකීමෙන් යුතුව ඉටුකරන බවට පොරොන්දුවක් ලබාදුන් අතර පැෆරල් සංවිධානය සමඟ ගිවිසුමකටද අත්සන් තැබූහ.
අනතුරු එම නිරීක්ෂකයින් පිටව ගියේ 21 වැනිදා පැවැත්වෙන මේ රටේ නායකයා තීරණය කිරීමේ වගකීම් සහගත කාර්යය සාර්ථක කර ගැනීමට පූර්ණ දායකත්වය ලබා දීමේ අධිෂ්ඨානයෙනි.