නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස්.

0
2

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස්

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට තේරී පත්වූ පළමු පලස්තීන ජාතිකයා මෙන්ම පළමු මුස්ලිම් කාන්තාව ලෙස ඉතිහාසයට එක්වීමට අබර් කවාස් සමත්ව තිබේ.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, 34 හැවිරිදි අබර් කවාස් ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පැවති නොවැම්බර් 3 මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්‍රටික් සමාජවාදී අපේක්ෂිකාවක ලෙස තරග කරමින් ඡන්ද ප්‍රතිශතයෙන් 74.5%ක් ලබාගෙන ජයග්‍රහණය කර තිබේ.

ඇය නිව්යෝර්ක් හි 12 වන දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හැන් කොන් ටෝ පරාජයට පත් කළාය. වයඹදිග ක්වීන්ස් ප්‍රදේශය ආවරණය කරන මෙම දිස්ත්‍රික්කය, නිව්යෝර්ක් නගරයේ විශාලතම අරාබි ජනගහනයක් වෙසෙන ප්‍රදේශයක් ලෙස සැලකේ.

මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව සිය ආධාරකරුවන් අමතමින් අදහස් දැක්වූ කවාස් කියා සිටියේ නිව්යෝර්ක් සෙනෙට් සභා ඉතිහාසයේ පළමු පලස්තීන ජාතිකයා තෝරා පත්කර ගැනීමට ඡන්දදායකයන් කටයුතු කර ඇති බවයි.

නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි සහ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සංවිධානයේ (DSA) සහාය ද හිමිවූ ඇය, මුලදී මැතිවරණ දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවූ බව වාර්තා වේ. ඒ, පලස්තීන නිදහස වෙනුවෙන් පෙනී සිටීමේ තම ප්‍රතිපත්ති සමඟ සම්මුතියකට එළඹීමට සිදුවනු ඇතැයි යන බිය හේතුවෙනි.

කෙසේ වෙතත්, වෙනස් වෙමින් පවතින දේශපාලන වාතාවරණය සහ පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිසගේ සහාය වර්ධනය වීම හේතුවෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව ඇය සඳහන් කර තිබේ.

1948 සහ 1967 වසරවලදී පලස්තීනයෙන් අවතැන් වූ දෙමාපියන්ට දාව උපන් කවාස්, ඇමරිකා එක්සත් ජනපදයේදී සංක්‍රමණික ගැටලුවලට මුහුණ දුන් පවුලක හැදී වැඩී තිබේ. ඇය කුඩා අවධියේදී සිය පියා ඇමරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනය (ICE) විසින් රඳවා තබා ගැනීම, සමාජ ක්‍රියාකාරිනියක ලෙස ඇයගේ ගමන්මඟට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

ස්වේච්ඡා සේවකයන් 1,000කට අධික පිරිසකගේ සහාය ඇතිව ගෙන ගිය ඇයගේ මැතිවරණ ව්‍යාපාරයේදී දැරිය හැකි මිලකට නිවාස ලබාදීම, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහන පහසුකම් සහ පලස්තීන ජනතාවට සහයෝගය දැක්වීම යන කරුණු ප්‍රධාන වශයෙන් අවධානයට ලක්කර තිබේ.

මීට පෙර කවාස්, නිව්යෝර්ක් නගරය පදනම් කරගත් ලාභ නොලබන සංවිධානවලට, අත්පත් කරගත් පලස්තීන භූමි ප්‍රදේශවල පවතින නීතිවිරෝධී ඊශ්‍රායල ජනාවාස ක්‍රියාකාරකම් සඳහා සහාය ලබාදීම වැළැක්වීම අරමුණු කරගත් නීති කෙටුම්පතක් සකස් කිරීමේදී මම්දානි සමඟ කටයුතු කර තිබේ.

අල් ජසීරා වාර්තාවට අනුව, ප්‍රාන්ත සෙනෙට් සභිකාවක ලෙස ඇයගේ මුල්ම ප්‍රමුඛ කාර්යයක් වනු ඇත්තේ 2023 වසරේදී මම්දානි සමඟ එක්ව කෙටුම්පත් කළ ‘Not on Our Dime!’ පනත් කෙටුම්පත යළි ඉදිරියට ගෙන ඒමයි.

ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය තුළ සුළුතර දේශපාලන ව්‍යාපාරයක කොටසක් ලෙස කටයුතු කිරීමේදී නීති සම්මත කර ගැනීම අභියෝගයක් බව පිළිගන්නා ඇය, බිම් මට්ටමේ ජනතා ක්‍රියාකාරීත්වය තුළින් වෙනසක් ඇති කළ හැකි බවට විශ්වාසය පළ කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය තුළ පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අපේක්ෂකයන් මැතිවරණ ජයග්‍රහණ අත්කර ගනිමින් සිටින පුළුල් ප්‍රවණතාවක කොටසක් ලෙස ද අබර් කවාස්ගේ ජයග්‍රහණය සැලකේ.

එමඟින් පලස්තීන අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන අපේක්ෂකයන්ට ඇමරිකානු ජනතාව අතර පවතින සහයෝගය වර්ධනය වෙමින් පවතින බව ද පිළිබිඹු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here