සෞදි අරාබියේ අගනුවර වන රියාද් නුවරට අඛණ්ඩව තෙවැනි රාත්‍රියටත් හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර, සුළු වේලාවකට පසු එය ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
රියාද් අගනුවර පිහිටි සෞදි අරාබියේ උසම ගොඩනැගිල්ල වන ‘පොදු ආයෝජන අරමුදල්’ (Public Investment Fund) ගොඩනැගිල්ලට හූති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් එල්ල වී දින දෙකකට පසුව මෙම තත්ත්වය උද්ගත වී ඇත.
යේමන රජයට සහාය දක්වන සෞදි ප්රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් හූති කැරලිකරුවන්ගේ පාලනයේ පවතින හොඩෙයිඩා වරායට සහ සනා අගනුවරට ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කිරීමත් සමඟ, හූති කැරලිකරුවන් සෞදි අරාබියට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. සෞදි බලාගාරයක්, ජෙඩා ඇතුළු රතු මුහුදේ වරායන් සහ රියාද් මූල්‍ය මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඔවුන් තර්ජනය කර ඇත.
මේ අතර, ඉරානයට එරෙහිව පවතින යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සමඟ වක්‍ර සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. කෙසේ වෙතත්, ටෙහෙරාන් සතුව පවතින සියයට 60ක් දක්වා බලගැන්වූ යුරේනියම් සංචිතය විදේශ රටකට භාර දෙන ලෙස වොෂින්ටනය කර ඇති ඉල්ලීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මීට සමගාමීව, සම්බාධක මඟහැර යාමට ටෙහෙරානයට සහාය වූ බවට චෝදනා එල්ල වී ඇති ඉරාන ජාතිකයන් පිරිසකට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඉදිරි දිනවලදී ඉරානයට එල්ල කරන ආර්ථික පීඩනය තවදුරටත් දැඩි කරන බව අමෙරිකානු නිලධාරියෙකු අල් ජසීරා පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ.

