කඩුවෙල ගින්නෙන් මියගිය එකම පවුලේ සිව්දෙනාගේ අවසන් කටයුතු අද.

0
14

කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක හටගත් හදිසි ගින්නකින් ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන්, ඔවුන් පදිංචිව සිටි තලාහේන, අටේ කණුව ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙනවිත් තිබේ.

​පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු දේහයන් ඥාතීන් වෙත භාරදී ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් නිවස වෙත පැමිණ සිටියහ.

​ඉකුත් 19 වැනිදා අලුයම් කාලයේදී මෙම ඛේදවාචකය සිදුව තිබූ අතර, එම ගොඩනැගිල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි නාරද සඳරුවන්, ඔහුගේ බිරිඳ වන 28 හැවිරිදි ලක්ෂිකා මධුශානි සහ ඔවුන්ගේ කුඩා දියණියන් දෙදෙනා වන 5 හැවිරිදි දිලෙනි හසන්‍යා හා 2 හැවිරිදි ඔනෙලි පහන්යා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය.

​මෙම පවුල තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වුවද, ඇතැම් දිනවල ඔවුන් ව්‍යාපාරික ගොඩනැගිල්ලේ උඩුමහලේ පසුපස කාමරයක නවාතැන් ගෙන සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

​අනතුරින් පසු මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගිය මළසිරුරු සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව, දේහයන් විවෘත කළ නොහැකි වන පරිදි මුද්‍රා තබා (සීල් කර) ඥාතීන් වෙත භාරදීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

​මියගිය සිව්දෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (21) තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here