දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 5,400ක් සඳහා නිවාස ආධාරවල පළමු වාරිකය වශයෙන් රුපියල් මිලියන 2 බැගින් ලබා දීමට ඉන්දියාව සිය සූදානම පළ කර ඇත.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුව, යෝජිත මෙම ආධාරය සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන රුපියල් මිලියන 5ක වන්දි වැඩසටහනේ කොටසක් ලෙස ලබා දෙනු ඇත.
ආපදාවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා රුපියල් 500,000 බැගින් ලබා දීමට ද ඉන්දීය රජය සිය කැමැත්ත පළ කර තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (සංවර්ධන සහයෝගීතා සහ මාධ්‍ය, තොරතුරු හා සංස්කෘතික) රොෂ්නි තොම්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැමිණි ඉන්දීය නියෝජිත පිරිස අතර බ්‍රහස්පතින්දා (19) පැවති හමුවකදී මෙම යෝජනා සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවලට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට අතිරේක ආධාර ලබා දීමට ඉන්දීය රජය දක්වන කැමැත්ත වෙනුවෙන් අමාත්‍ය විද්‍යාරත්න මහතා සිය ස්තූතිය පළ කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ‘Rebuild Sri Lanka’ වැඩසටහනට සම්බන්ධ විනිවිදභාවයෙන් යුතු සහ ක්‍රමවත් යාන්ත්‍රණයක් ඔස්සේ යෝජිත ආධාර ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීමට ද අමාත්‍යවරයා එකඟ විය.
මේ අතර, ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙම හමුවේදී සමාලෝචනයට ලක් වූ අතර, එහි පළමු අදියර යටතේ සැලසුම් කර තිබූ නිවාස 1,300න් නිවාස 670ක වැඩ 2026 ඔක්තෝබර් 31 වන විට අවසන් කර තිබුණි.
තවත් නිවාස 306ක වහලය දක්වා ඉදිකිරීම් අවසන් කර ඇති අතර, දෙසැම්බර් 20 වන විට නිවාස 1,000කට ආසන්න ප්‍රමාණයක වැඩ නිම කිරීමට රජය අපේක්ෂා කරයි.
ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දැනටමත් හිමිකම් ලේඛන නිකුත් කර ඇති නිවාස 2,026ක ඉදිකිරීම් කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
වතු ප්‍රජාවේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා ස්මාර්ට් පන්ති කාමර (smart classrooms) 60ක් ස්ථාපිත කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය වැඩිදුරටත් සාකච්ඡා කළහ.
එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවශ්‍ය අනුමැතිය දින හතත් දහයත් අතර කාලයකදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව රොෂ්නි තොම්සන් මහත්මිය පැවසුවාය.
2026 වසර අවසන් වීමට පෙර පාසල් සිසුන්ට එම ව්‍යාපෘතියේ ප්රතිලාභ ලැබෙන බව තහවුරු කිරීම සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමේ වැදගත්කම අමාත්‍ය විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.

