බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති කාලගුණික කැලඹිලි තත්ත්වයක් හේතුවෙන් දේශසීමා හරහා මෙරටට ඇතුළු වී ඇති වායු දූෂක අංශු නිසා, දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලීය ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
විශේෂයෙන්ම උතුර, උතුරු මැද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල වායු තත්ත්ව දර්ශකය 200 ඉක්මවා ගොස් ඇති බව එහි පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ එළිමහනේ මීදුම් සහිත ස්වභාවයක් දිස් වුවද, එය සැබෑ මීදුමක් නොව වායුගෝලයේ පවතින දූවිලි හා අනෙකුත් අංශු බව ඒ මහතා පෙන්වා දෙයි.
පවතින වායු සංසරණ රටාවන් හේතුවෙන් මෙම තත්ත්වය තවත් දින 3ක් හෝ 4ක් පමණ පවතී යැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, වයස්ගත පුද්ගලයන්, ශ්වසන රෝගීන් සහ අසාත්මිකතා ඇති අය මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සැමවිටම කල්පනාකාරී විය යුතු අතර, යම් අපහසුතාවක් මතු වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙස පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

