මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට විදෙස් විශ්වවිද්‍යාල සමඟ ගිවිසුම් ගණනාවකට කැබිනට් අනුමැතිය

0
10

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඔසවා තැබීම සහ ජාත්‍යන්තරකරණය කිරීමේ අරමුණින්, විදේශීය උසස් අධ්‍යාපන ආයතන සමඟ අධ්‍යාපනික සහයෝගිතාවන් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙම නව වැඩපිළිවෙළ යටතේ, කොළඹ විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ මනිපාල් උසස් අධ්‍යාපන ඇකඩමිය අතර අධ්‍යයන තොරතුරු හා ප්‍රකාශන හුවමාරුව, කාර්ය මණ්ඩලය, පර්යේෂකයන් හා සිසුන් හුවමාරු කර ගැනීම මෙන්ම තාක්ෂණික සහාය ලබා ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිතය. එමෙන්ම, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ තායිලන්තයේ මහමකුට් බෞද්ධ විශ්වවිද්‍යාලය අතර ශාස්ත්‍රීය සහ පර්යේෂණ කටයුතු සම්බන්ධ සහයෝගිතාව වර්ධනය කර ගැනීම සඳහා තවත් අවබෝධතා ගිවිසුමක් ක්‍රියාත්මක කෙරේ.

මීට අමතරව, මොරටුව විශ්වවිද්‍යාලය, චීනයේ Xi’an Jiaotong-Liverpool විශ්වවිද්‍යාලය සහ ස්පාඤ්ඤයේ Universitat La Salle යන විශ්වවිද්‍යාල අතර ඒකාබද්ධ පර්යේෂණ සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇත. තවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය (RMIT) අතර සහයෝගිතා පර්යේෂණ පුහුණු වැඩසටහන් පැවැත්වීම, ඒකාබද්ධ ප්‍රකාශන නිකුත් කිරීම සහ පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් පිරිනැමීමට අදාළ විශේෂ ගිවිසුම්වලට (Umbrella Cotutelle Agreement) එළඹීමට ද මෙමගින් අවකාශ සැලසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here