BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙති

0
18

මෙරටදී පැවැත්වෙන බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත පිරිස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබේ.

මෙම හමුවේදී නියෝජිත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගත් අග්‍රාමාත්‍යවරිය, BIMSTEC සෞඛ්‍ය අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වීම පිළිබඳව සිය සතුට පළ කළාය.

එහිදී BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු සහ එහි ප්‍රතිඵල පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළහ. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා හඳුන්වා දී ඇති නව ක්ෂේත්‍ර සහ වැඩසටහන් සම්බන්ධයෙන් ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

විශේෂඥ දැනුම අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනීම සහ කුසලතා සංවර්ධනය කිරීම හරහා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පොදු අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා සාමූහික ප්‍රවේශයක අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එක් එක් රටවල් තනි තනිව ක්‍රියාත්මක වීම වෙනුවට BIMSTEC සාමාජික රටවල් සියල්ලේම පොදු කැපවීම සහ සම්බන්ධීකරණය වූ සාමූහික ප්‍රයත්නය අත්‍යවශ්‍ය බව වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here