බලංගොඩ කස්සප හිමියන්ට හෙට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීමක්

0
22

රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට හෙට (13) දින කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.

පසුගිය ඔක්තෝබර් 17 වැනි දින විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී පැවති සත්‍යග්‍රහයකදී පොලිස් නිලධාරීන් තමන්ට පහර දුන් බවට උන්වහන්සේ මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදු කර ඇත.

මීට පෙර ඊයේ (11) දින පෙරවරු 10.00ට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙස උඩමලුව පොලීසිය හරහා දැනුම් දී තිබුණද, උන්වහන්සේ එහි නොපැමිණි අතර ඒ පිළිබඳව කිසිදු දැනුම්දීමක්ද කර තිබුණේ නැත.

ඒ අනුව, උඩමලුව පොලීසිය විසින් යළිත් වරක් කස්සප හිමියන්ට දැනුම් දී ඇත්තේ හෙට (13) දින අදාළ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශය ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අවධාරණය කර ඇත්තේ, තමන් වහන්සේ කිසිදු අධිකරණ නියෝගයක් පිළිනොපදින බවත්, උන්වහන්සේට නියෝග ලබා දිය හැක්කේ සංඝ අධිකරණයට පමණක් බැවින් කිසිදු නියෝගයක් භාරදිය නොහැකි බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here