2026 වසරේ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය පුත්තලම දිස්ත්රික්කයේ, හලාවත ආනන්ද ජාතික පාසලේදී දෙසැම්බර් මස 18, 19 සහ 20 යන තෙදින පුරා පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය පුත්තලම දිස්ත්රික්කය තුළ පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාව පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පසුගිය නොවැම්බර් මස 06 වැනි දින පවත්වන ලදී.
පුත්තලම දිස්ත්රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, හාල්පන්විල පාලිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්රධාන ලේඛකාධිකාරී, මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ සහ දිස්ත්රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, මිගෙට්ටුවත්තේ සුමිත්ත ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලා ඇතුළු දිස්ත්රික්කයේ ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල සභාපති සහ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා රැසක් මෙම අවස්ථාව සඳහා වැඩම කර සිටියහ.
මෙවර සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගාවලිය පුත්තලම දිස්ත්රික්කයේ පැවැත්වීමට තෝරාගෙන ඇති බැවින්, එය හලාවත ආනන්ද ජාතික පාසල තුළ සංවිධානය කිරීම වඩාත් සුදුසු බවට මෙහිදී මූලික වශයෙන් යෝජනා වී ඇත. ඒ අනුව, එකඟතාව පළ වූ පරිදි දෙසැම්බර් 18, 19 සහ 20 යන දිනවලදී අදාළ තරගාවලිය හලාවත ආනන්ද ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡා අවස්ථාව සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න, පුත්තලම දිස්ත්රික් ලේකම් වයි.අයි.එම්. සිල්වා, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) පුබුදිකා එස්. බණ්ඩාර, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ සහ බෞද්ධ කටයුතු කොමසාරිස් (දහම් පාසල්) වසන්ත ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්රාදේශීය ලේකම්වරුන් සහ බෞද්ධ කටයුතු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


