කිරිඳිඔය සහ වලවේ ගංගා ද්‍රෝණිවල ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

0
21

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කිරිඳිඔය සහ වලවේ ගංගා ද්‍රෝණිවල ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් තිබේ. ඒ අනුව අතිරික්ත ජලය මුදා හැරීම සඳහා එම ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා සඳහන් කරන ආකාරයට, අදාළ ගංගා සහ ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

මේ වන විට වාන් දොරටු විවෘත කර ඇති ප්‍රධාන ජලාශ අතර, කිරිඳිඔය ගංගා ද්‍රෝණියේ පිහිටි ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් සහ වාන් දොරටු හතරක් අඟල් 6 බැගින් විවෘත කර ඇත. මේ හරහා තත්පරයට ඝන අඩි 3,000 කට ආසන්න ජල ප්‍රමාණයක් කිරිඳිඔය වෙත මුදා හැරේ.

එම ගංගා ද්‍රෝණියේම පිහිටි අලිකොට ආර ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති අතර, එම අමතර ජලය මේ වන විට කිරිඳිඔය වෙත එකතු වෙමින් පවතී. මීට අමතරව, මව් ආර ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ඝන අඩි 1,500 කට අධික ජල ප්‍රමාණයක් මව් ආර වෙත මුදා හැරෙමින් පවතී.

මෙම ජලාශවලින් මුදා හැරෙන ජලයත් සමඟ කිරිඳිඔය සහ වලවේ ගංගා ද්‍රෝණිවලට පහළ ප්‍රදේශවල ජල මට්ටම්වල ක්ෂණික වෙනස්කම් සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එබැවින්, වාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල සහ ගංගා ආසන්නව පදිංචි ජනතාව ගංගාවල ජල මට්ටම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු වේ.

මීට අමතරව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශ මඟින් වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන නිවේදන සහ උපදෙස් අනුව කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් තරයේ ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here