අයර්ලන්ත මලල ක්‍රීඩා ලෝකයම කම්පා කරමින් හිටපු යුරෝපා ශූරිනී සියාරා මැගීන් ජීවිතක්ෂයට පත්වෙයි

0
12

හිටපු යුරෝපා ශූරතාවලියේ රන් පදක්කම්ලාභිනියක සහ දෙවරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ අයර්ලන්ත ප්‍රසිද්ධ මලල ක්‍රීඩීකා සියාරා මැගීන් (Ciara Mageean) වයස අවුරුදු 34 දී අභාවප්‍රාප්ත වී තිබේ. උතුරු අයර්ලන්තයේ පෝටෆෙරි ප්‍රදේශයේ උපන් ඇයට 2025 මැයි මාසයේදී සිව්වන අදියරේ මහා බඩවැල් පිළිකාවක් (stage four bowel cancer) වැළඳී ඇති බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, පිළිකා රෝගය සමඟ කළ දැඩි හා දීර්ඝ සටනකින් පසු ඇය ඊයේ (නොවැම්බර් 01) උදෑසන සිය ආදරණීයයන් පිරිවරා අභාවප්‍රාප්ත වූ බව ඇයගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ දැක්වෙන නිවේදනයක සඳහන් වේ.

සිය ක්‍රීඩා දිවිය තුළ අමතක නොවන සන්ධිස්ථාන බොහෝමයක් ස්පර්ශ කර ඇති ඇය, 2016 සහ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් සඳහා අයර්ලන්තය නියෝජනය කරමින් ඉදිරිපත් වූවාය. පාදයේ ඇති වූ බරපතළ ආබාධයක් හේතුවෙන් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව ඇයට අහිමි වුවද, 2024 වසරේ රෝමයේ පැවති යුරෝපා ශූරතාවලියේදී මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනිමින් ඇය තම ක්‍රීඩා ජීවිතයේ පළමු ප්‍රධාන ජාත්‍යන්තර ශූරතාව හිමිකර ගත්තාය. මීට අමතරව, 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී උතුරු අයර්ලන්තය නියෝජනය කරමින් මීටර් 1500 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමටද ඇය සමත් වූවාය.

ආදරණීය දියණියක, සොහොයුරියක, භාර්යාවක මෙන්ම ක්‍රීඩා ලෝලීන් මිලියන සංඛ්‍යාත පිරිසකට මහත් ආස්වාදයක් වූ සියාරා මැගීන්ගේ අකල් වියෝව ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට මෙන්ම අයර්ලන්තයට පිරිමැසිය නොහැකි පාඩුවක් වනු ඇතැයි ඇයගේ පවුලේ අය සහ ක්‍රීඩා බලධාරීන් පවසති.

මූලාශ්‍රය – බීබීසි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here