‘මුරසු’ සුළි කුණාටුව පිළිබඳ විශේෂ කාලගුණ අනාවැකි සහ ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

0
18

බටහිර මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරසු’ සුළි කුණාටුව, ඊයේ (01) දින රාත්‍රී 11.30 වන විට උතුරු අක්ෂාංශ 13.3° සහ නැගෙනහිර දේශාංශ 83.0° ආසන්නයේ, කන්කසන්තුරයේ සිට කි.මී. 480ක පමණ උතුරට බරව ඊශාන දෙසින් කේන්ද්‍රගතව පැවතුණි. මෙම පද්ධතිය ඉදිරි පැය 03 තුළ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමට ඉතා වැඩි හැකියාවක් පවතී. ඉන් අනතුරුව, එය අද (02) මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම් කාලය අතරතුර නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඉන්දියානු ගොඩබිමට ඇතුළුවීමට අපේක්ෂා කෙරේ.

මේ හේතුවෙන්, උතුරු අක්ෂාංශ 10ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස දන්වා සිටී. එම මුහුදු ප්‍රදේශවල දැනට නියැලෙන ධීවර සහ නාවික ප්‍රජාව වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙස තරයේ ඉල්ලා සිටින අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි හා නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන්න.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සුළං නිරිත හෝ දකුණු දෙසින් පැ.කි.මී. 25-35ක වේගයකින් හමනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 දක්වා ඉහළ යා හැකි බැවින්, එම ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70 දක්වා) ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බවට ධීවර සහ නාවික ප්‍රජාව දැඩි සැලකිලිමත් වන ලෙස දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here