මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව සිදුකරන විමර්ශනවලට අදාළව මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, නීතිපති උපදෙස් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නඩුකරය එළැඹෙන පෙබරවාරි මස 11 වැනි දින යළි කැඳවන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර ඇත.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ නැත.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ‘එන්. ආර්. කන්සල්ටන්සි’ නමැති සමාගමක රුපියල් මිලියන 15ක පමණ මුදලක් ආයෝජනය කිරීම හරහා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

