වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 47.3කට අලෙවි වූ දුර්ලභ ‘ජෝඩි’ නැනෝටිරැනස් ඩයිනසෝර සැකිල්ල

0
12

දිගු කලක් තිස්සේ කුඩා ටිරන්නෝසෝරස් රෙක්ස් (T. rex) ඩයිනසෝරයෙකුගේ සැකිල්ලක් ලෙස වරදවා වටහාගෙන සිටි, පසුව වෙනම ඩයිනසෝර විශේෂයක් ලෙස තහවුරු කෙරුණු ‘නැනෝටිරැනස්’ (Nanotyrannus) ඩයිනසෝරයාගේ සැකිල්ලක් නිව්යෝර්ක්හි පැවැති ‘සොත්බීස්’ (Sotheby’s) වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 47.3ක (පවුම් මිලියන 35.5කට ආසන්න) වාර්තාගත මුදලකට අලෙවි වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

‘ජෝඩි’ (Jodi) ලෙස නම් කර ඇති, උසින් අඩි 10ක් (මීටර් 3ක්) පමණ වන මෙම පූර්ණ මාංශ භක්ෂක ඩයිනසෝර සැකිල්ල වෙන්දේසි කර ඇත්තේ එය වෙනම ගණයකට අයත් බව පර්යේෂකයන් විසින් නිල වශයෙන් තහවුරු කර වසරකට පසුවය. ක්‍රිටේසියස් යුගයේ පසුභාගයට අයත් මෙම සැකිල්ල ඩොලර් මිලියන 9කට අලෙවි වනු ඇතැයි මුලින් තක්සේරු කර තිබුණද, ලංසුකරුවන් 6 දෙනෙකු අතර පැවැති විනාඩි 12ක තියුණු තරගයකින් පසු එහි මිල මෙම ඉහළ අගයට ළඟා වී තිබේ.

මෙය මෙතෙක් ලෝක වෙන්දේසියකදී අලෙවි වූ වැඩිම මිලැති ඩයිනසෝර සැකිලි අතරින් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර, ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ පසුගිය ජූලි මාසයේදී සොත්බීස් ආයතනයෙන්ම ඩොලර් මිලියන 50.1කට අලෙවි වූ ‘ගස්’ (Gus) නම් T. rex සැකිල්ලටය. ඩොලර් මිලියන 44.6කට අලෙවි වූ ‘ඇපෙක්ස්’ (Apex) ස්ටෙගෝසෝරස් සැකිල්ල තෙවන ස්ථානයේ පසුවේ.

සොත්බීස් ආයතනය පෙන්වා දෙන පරිදි, ඇටකටු කොටස් 191කින් සහ අතිශයින් හොඳින් සංරක්ෂණය වූ හිස්කබලකින් සමන්විත ‘ජෝඩි’ යනු ලෝකයෙන්ම මෙවැනි සැකිලි තුනක් පමණක් හමුවී ඇති අතිශය දුර්ලභ අවස්ථාවකි. ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ හෙල් ක්‍රීක් භූ විද්‍යාත්මක කලාපයෙන් මෙම අපූරු සැකිල්ල සොයාගෙන ඇත්තේ ජෝඩි පියර්සන් (Jodi Pierson) නමැති ගොවිපොළ හිමිකාරිය විසින් වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here