පාකිස්තානය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්

0
16

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලාහෝර් නුවරදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 25.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110ක් පමණි. සත්කාරක පිතිකරුවන් අඩපණ කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුශංක පන්දුවාර 8.3ක් යවමින් ලකුණු 34කට කඩුලු 5ක් බිඳහෙළීය. ඔහුට අනගි සහයක් දුන් සහන් ආරච්චිගේ කඩුලු 2ක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග සහ දුනිත් වෙල්ලාලගේ අතරට එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. පාකිස්තාන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලෙස බාබර් අසාම් ලකුණු 29ක් සහ හසන් නවාස් ලකුණු 17ක් රැස් කළහ.

ලකුණු 111ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 18.1ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කරගත්තේ තවත් පන්දුවාර 32.5ක් ඉතිරිව තිබියදීය.

ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ කමිඳු මෙන්ඩිස් පන්දු 62කදී අනගි හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 62ක් රැස් කළේය. ඔහුට අමතරව පවන් රත්නායක ද නොදැවී ලකුණු 23ක් ලබා ගනිමින් කමිඳු සමඟ එක්ව තවත් කඩුලු බිඳ වැටීමට ඉඩ නොදී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 16ක් ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 8කට දැවී ගියේය.

තරගයේ වීරයා ලෙස පාකිස්තාන ඉනිම සුන් කරමින් කඩුලු 5ක් දවාගත් දිල්ෂාන් මධුශංක සම්මාන දිනාගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here